බදාදා, 01 මැයි 2024 10:02

දණ්ඩ නීති සංග්‍රහය-අපරාධ නඩු විධාන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය Featured

වැඩිහිටියන් - ගුරු දෙගුරුනුත් නීතියට යටත් කරයි

සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ට නම් නරකම දේ ලබා දීම ද වැළක්විය යුතුය යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ අනුව සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය. ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් අන්තර්ජාතිකව පිළිගන්නා ආකාරයට සකස් ක‍ර උසස් දියුණු සදාචාරසම්පන්න සමාජයකට තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය. මෑත කාලයේදී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට දරුවන්ට සිදු කරනු ලැබූ අමානුෂික විවිධ පහර දීම් සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත් දරුවන්ට මින්පසු කිසිදු ආකාරයක ශාරීරික මානසික දඬුවම් පැනවීම වැළැක්වීමට අදාළ වන පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ඊයේට (30) යෙදී තිබිණි. මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟ මෙරට සෑම දරුවකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම මඟින් දරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ද සැලසේ.‍ ඒ අනුව, වැඩිහිටියන් හෝ ගුරු දෙගුරුන් විසින් හෝ ශාරීරිකව හෝ මානසිකව කිසිදු දඬුවමක් කිරීම නීතිය අනුව වරදකට වැරදිකරු වන ආකාරයට මෙම පනත සංශෝධනය වන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නුවන් කොඩිකාර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website