සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 10:36

සංවර්ධන ව්‍යාපෘති නිමාකර එහි ප්‍රතිලාභ කඳුකර දමිළ ජනතාවට කඩිනමින් ලබාදෙන්න – ඇමැති විජිතගෙන් නිලධාරීන්ට උපදෙස් Featured

මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මණින් ලබාදෙන ලෙස පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසකම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් (23දා) දින පස්වරුවේ අදාළ ආයතනයන් හි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද සහභාගි විය.

පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින “වැවිලි කලාප සඳහා වූ නව ගම්මාන අධිකාරිය, වැවිලි මානව සංවර්ධන භාරය සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන් භාරය” යන රාජ්‍ය ආයතනයන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධව මෙම රැස්වීමේ විශේෂ අවධානය යොමු විය.

මෙහිදී ඉන්දියානු රජයේ ණය ආධාර ඇතිව ක්‍රියාත්මක නිවාස ඉදිකිරීමේ යෝජනා වැඩසටහන් මෙන්ම අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ආරම්භ කර තිබෙන ප්‍රජා යටිතල පහසුකම් ව්‍යාපෘතීන්වල වත්මන් තත්ත්වය පිළිබඳව එම ආයතනයන් හි නිලධාරීන් විසින් ප්‍රගති වාර්තා ඉදිරිපත් කරන ලදී.

වැවිලි මානව සංවර්ධන භාරය විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවලින් 2024 වසරේ තුන්වන කාර්තුවේ අග භාගය වනවිට 2024ට අදාළව නිවාස ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රගතිය 90%ක සීමාව ඉක්මවා ඇති බව අනාවරණය විය. හැටන්, නුවරඑළිය, නුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පිළිවෙළින් සියයට 91%, 90%, 92%, 100% නිවාස යෝජනා ව්‍යාපෘතීන් ඉදිකිරීමේ ප්‍රතිශතය අවසන් අදියරවලට පැමිණ ඇත.

මීට අමතරව වැවිලි කලාප සඳහා වූ නව ගම්මාන අධිකාරිය විසින් (New Villages Development Authority For Plantation Region) ක්‍රියාත්මක නිවාස හිමිකම් සහ ඉඩම් ඔප්පු 1060ක් ප්‍රදානයට අදාළ කටයුතු සූදානම් කර තිබේ. ඉන් ඔප්පු 563ක් සම්පූර්ණ වශයෙන් ලියාපදිංචිය ද සිදු කර අවසන් වී ඇතත් තවත් ඔප්පු 497කට අදාළව ලියාපදිංචිය සිදු කරමින් පවතී.

මේ වනවිට වැඩ අවසන් වී ඇති නිවාස හා ලියාපදිංචිය අවසන් කර තිබෙන ඉඩම් හිමිකම් ඔප්පු දේශපාලන අධිකාරිය සම්බන්ධ කර නොගෙන රාජ්‍ය නිලධාරී මට්ටමින් ලැබිය යුතු සැබෑ ප්‍රතිලාභීන්ට කඩිනමින් ප්‍රදානයට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැතිවරයා උපදෙස් ලබාදුන්නේය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර වැවිලි කර්මාන්තය සඳහා නව ගම්මාන අධිකාරිය මැදිහත්ව කඳුකර වතු ප්‍රජාවගේ නිවාස සම්බන්ධ විධිමත් සංගණනයක් සිදුකිරීමට ද පියවර ගෙන ඇති බව මෙහිදී පෙන්වා දෙනු ලැබිණි. ඒ සඳහා ජංගම දුරකතන ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට නියමිතය. ඒ තුළින් කඳුකර වතු ප්‍රජාවගේ නිවාස මෙන්ම ඉඩම් සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් ප්‍රථම වරට විධිමත් දත්ත සංචිතයක් පවත්වාගෙන යෑමට ද අපේක්ෂිතයි. එය ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදී කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකි වනු ඇත.

අධ්‍යාපන මෙන්ම සෞඛ්‍ය සේවාවන්වල පවතින ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නිලධාරීන් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදී. එහිදී කඳුකර ප්‍රජාවගේ නිවාසවල වෙසෙන පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක දිවා ආහාර ලබාදීමේ වැඩසටහන්වල පවතින අඩුපාඩු හඳුනාගෙන එය විධිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබිණි.

ඊට අමතරව කඳුකර වතු නිවාස මුල්කර ගෙන ක්‍රියාත්මක ආරෝග්‍ය ශාලාවන් හි පවතින ගැටලු නිරාකරණයට අදාළ කරුණුවලදී රජයේ වතු සමාගම්වල සහය ලබාගැනීමට නියමිත බවද නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබීය.

 

DVN

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website