සදුදා, 28 ඔක්තෝබර් 2024 10:31

මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීමට Featured

-ජනපති සහ මියන්මාර තානාපතිනිය අතර සාකච්ඡා

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මියන්මාර තානාපතිනිය අතර පැවැති හමුවේදී අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපතිනී මාලර් තන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (25) පෙරවරුවේ සිදු වූ අතර එහිදී මේ කරුණු අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුම්වත් කළ ජනාධිපතිවරයා සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ද පෙන්වා දුන්නේය. මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී තානාපතිනිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගු කාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට මියන්මාර රජය කැපවී කටයුතු කරන බව තානාපතිනිය සඳහන් කළාය. කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන ලෙයී ඊ වින් (Lei Yi Win) , තෙට් ෂෝ ටෝ (Thet Zaw Toe) යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website