සෙනසුරාදා, 14 ඔක්තෝබර් 2023 07:59

ගාසා තීරයේ වැසියන් මිලියන 1.1කට ඉවත් විමේ නියෝග Featured

පලස්තීනයට අයත් ගාසා තීරයේ සිටින හමාස් අන්තවාදීන්ට එරෙහිව ඊශ්‍රායලය විසින් දියත් කර ඇති හමුදා ප්‍රහාරයන් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස පැය 24 ක් ඇතුළතදී ගාසා තීරයේ දකුණුදිග කලාපයට සංක්‍රමණය වන ලෙස උතුරුදිග ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනුම් දී තිබේ.

ගාසා තීරයේ පවතින හමාස් අන්තවාදීන්ගේ ඉලක්ක වෙත ගොඩබිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් ගාසා තීරයෙන් ආරක්ෂාව තකා ඉවත්ව යන ලෙස ඊශ්‍රායල හමුදාවන්ද ගාසා වැසියන්ගෙන් ඉල්ලීම් කර තිබේ. කෙසේ වුවද ඊශ්‍රායල හමුදාවන්ගේ නියෝගය අනුව කටයුතු කිරීම, අසීරු වීම හේතුවෙන් ගාසා තීරයෙන් ඉවත් වන ලෙසට කර ඇති නියෝගය ඉවත් කරගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල හමුදාවට දැනුම් දී තිබේ.

හමාස් අන්තවාදීන් විසින් ගොඩබිමෙන්, ගුවනින් හා මුහුදෙන් අනපේක්ෂිත ලෙස ඉකුත් සෙනසුරාදා (07දා) ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමගම ඇරැඹි ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් ඊයේ (13දා) වන විට ඊශ්‍රායලයේ හා ගාසා තීරයේ වැසියන් 2700කට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය ගොස් ඇති පිරිසෙන් 1400 කට අධික පිරිසක් ගාසා තීරයේදී මිය ගොස් ඇති අතර ඊශ්‍රායලයේ මිය ගොස් ඇති පිරිස 1300 ක් පමණ වේ.

මේ අතර හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව යුද්ධයක් ඇරැඹීම නිසා ආරක්ෂක හේතුන් මත උතුරු ලන්ඩනයේ පවත්වාගෙන යන යුදෙව් පාසල් තුනක් ඊයේ විවෘත නොකරන බව එම පාසල් බලධාරීන් විසින් දෙමවුපියන්ට දැනුම් දී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website