ඉරිදා, 29 ඔක්තෝබර් 2023 10:12

මැස්සෙකුටවත් හොර රහසේ යා නො හැකි අලුත් ම ලේසර් අවිය ඊශ්‍රායලයේ යකඩ වියන(Iron Beam) Featured

අධි ශක්ති ෆයිබර් ලේසර් කදම්බයන් යොදා ගෙන කෙරෙන සටන්, සතුරු මිසයිල නාශක මෙතෙක් මිනිසා දුටුවේ ස්ටාර් වෝස්, ස්ටාර් ට්‍රකේ වැනි විද්‍යා ප්‍රබන්ධ පාදක කරගෙන නිමවූ සිනමාපටවලිනි.

එහෙත් විද්‍යා ප්‍රබන්ධ තවදුරටත් ප්‍රබන්ධයක් නො වී යථාර්ථයක්වූ අවස්ථාවන්ට ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි දරයි. අයන් ඩෝම් පරයමින් ඉදිරියට එන ඊශ්‍රායලයේ අධි ශක්ති ෆයිබර් ලේසර් කදම්බයන්ගෙන් සපිරි අයන් බීම් ඊට හොඳ උදාහරණයකි. හමාස් සහ ලෙබනන් ගරිල්ලන් ගේ හිසරදයෙන් බේරීමට යොදා ගත් අයන් ඩෝමයෙන් සිතූ පැතූ ලෙස රැකවරණයක් නො ලැබෙන විට ඊශ්‍රායලය මෙතෙක් අත්හදා බැලීමේ තත්ත්වයේ පැවති අයන් බීම් ඉක්මනින්ම කලඑළියට ගෙන ඒමට කටයුතු කරනු ඇත. දැනටමත් එය සාර්ථක ආරක්ෂක වියනක් බව එරට රජය අත්දැක අවසන් ය. 2022 වසර මුලදී මුල් වරට අයන් බීම් නම් බලසම්පන්න ආරක්ෂක අති නවීන තාක්ෂණික මෙවලමේ සාර්ථක භාවය ඔවුන් අත්දැක අවසන් ය.

පසුගිය වසරේ අමෙරිකානු ජනපති ඊශ්‍රායල චාරිකාවක යෙදුණු අවස්ථාවේ ටෙල් අවීව් ගුවන් තොටුපළේ සිට ඡායාරූපයකට පෙනී සිටි තැන ඔහු ගේ හිසට ඉහළින් තිබූ යෝධ කැමරාවක් වැනි උපකරණය දෙස බොහෝ දෙනකු ගේ අවධානය යොමු විණි. එය ඊශ්‍රායලයේ අලුත් ම මිසයිල නාශක අධි ශක්ති ෆයිබර් ලේසර් අවිය ය. එසේත් නැත්නම් අයන් බීම් ය.

අයන් බීමය සඳහා පිඹුරු පත් සැකසුණේ විසි වසරකට පමණ පෙරය. එහෙත් මුල් වරට එය කරළියට එන්නේ 2014 වසරේ පෙබරවාරි 11 වැනි දින සිංගප්පූරුවේ පැවැති ගුවන් ප්‍රදර්ශනයකදී ය. එය ඉදිරිපත් කර තිබුණේ ඊශ්‍රායලයේ ආරක්ෂක කොන්ත්‍රාත්කරු රෆායල් උසස් ආරක්ෂක පද්ධති සමාගම විසිනි.

අයන් ඩෝම් මෙන් නොව අයන් බීම් මගින් භූමියට එල්ල වන මිසයිල, රොකට් කාලතුවක්කු ෂෙල්, මෝටාර් බෝම්බ, ඩ්‍රෝන වැනි ගුවන් අවි නාශනය කිරීම සඳහා මිසයිල භාවිත නොකරයි. ඒ වෙනුවට යොදා ගන්නේ අධි ශක්ති ෆයිබර් ලේසර් ධාරාවකි. ඊශ්‍රායලයට අයන් ඩෝම් භාවිත කිරීමට වඩා අයන් බීම් භාවිත කිරීම ඉතා ලාබදායක ය. ලේසර් තාක්ෂණය යොදා ගැනීම නිසා අයන් ඩෝම්වලදී මෙන් විශාල වියදමක් මිසයිල සඳහා වැය කිරීමට සිදු නො වෙයි. සාමාන්‍යයෙන් අයන් ඩෝමයක එක් ප්‍රති ප්‍රහාරයක වියදම ඩොලර් 50000ක් පමණ වෙයි. එහෙත් අයන් බීමයක අධිබල ලේසර් ධාරාවක් හැසිරවීමට වැයවන්නේ ඩොලර් දෙකක් වැනි සුළු මුදලකි. මුළු අයන් බීම් පද්ධතිය ම ඩොලර් දහසක් වැනි මුදලක් වැයකර ක්‍රියා කරවීමට හැකි වීම අයන් බීමයේ තවත් වාසියකි. මෙහි ඇති තවත් වාසියක් වන්නේ කිලෝමීටර් 7 – 10ක් වැනි දුරක ඇති සතුරු ගුවන් ප්‍රහාර පවා ඉලක්ක කර විනාශ කළ හැකි වීම ය. සතුරු ඉලක්ක විනාශ කිරීමට යොදා ගන්නා ලේසර් ෆයිබර් කදම්බයක ශක්තිය කිලෝවොට් 100කි. එක් මිනිත්තුවක ප්‍රහාරයක ඩයිනමයිට් කිලෝග්‍රෑම් 1 1/2 ක ශක්තිය අඩංගු ය. ලේසර් කදම්බ දෙකකින් තත්පර ගණනකදී නිපදවන කිලෝවොට් 100 – 150 ක ශක්තිය දිනකට නිවාස 5 – 8 කට විදුලි බලය ලබා දීමට ප්‍රමාණවත් වෙයි.

මෙය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සීමිත මිනිස් බලයකි.

අයන් බීමයේ සම්පූර්ණ බරපැන දරා ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය ය.

අයන් ඩෝමයේ මෙන් ම මෙහිද අඩුපාඩු නැතුවා නො වෙයි. අඩු ආලෝකයක් සහිත හෝ වැසිබර කාලගුණයක් සහිත අවස්ථාවල ඝන වලාකුළු විනිවිද ගොස් නිවැරැදි ඉලක්කය ගැනීමට අයන් බීම් පද්ධතියට හැකියාවක් නැත. එබැවින් ගුවනේ සිට අයන් බීම් පද්ධතිය මෙහෙයවීම ගැන රෆායෙල් ආරක්ෂක සමාගම සොයා බලමින් සිටියි. දැනට ඊශ්‍රායලය සතුව ඇත්තේ සීමිත අයන් බීම් ප්‍රමාණයකි. ඔවුන් වසර 2025 දී මහා පරිමාණයෙන් අයන් බීම් පද්ධති ස්ථානගත කිරීමට ක්‍රියාකරමින් සිටිය ද පවතින යුදමය වාතාවරණය ඊට පෙර ඊශ්‍රායලය අයන් බීම්වලින් සන්නද්ධ වනු ඇත. ඊශ්‍රායලයේ දැඩි ආරක්ෂාව අවශ්‍ය තැන් කිහිපයක ඒවා ස්ථානගත කර තිබෙයි.

අයන් බීමය අධි තාක්ෂණ ලේසර් අවි යුගයකට මුල පුරන පුරෝගාමී අවියක් වී අවසන් ය.

අයන් බීමය ඊශ්‍රායලයේ හය වැනි මිසයිල ප්‍රති ප්‍රහාරක පද්ධතිය ය. ඇරෝ 2 ( Arrow 2 ), ඇරෝ 3 (Arrow 3), ඩේවිඩ්‘ස් ස්ලින්ග් ( David’s Sling ), අයන් ඩෝමය ( Iron Dome ), අයන් බීමය (Iron Beam) පසු ඊශ්‍රායලය ලොවට ගෙන එන අලුත් ම මිසයිල නාශක අවිය කුමක් විය හැකිද? ලොවට ම ඒ ගැන ඇත්තේ කුහුලකි.

චම්පිකා දීපානි රණසිංහ

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website