ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායලයෙන් බව ඉරානය නොකියයි
ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණාගාරයක්, විප්ලවීය හමුදාවේ ගුවන් බළකා කඳවුරක් සහ මිසයිල නිෂ්පාදනාගාරයක් පිහිටි ඉස්ෆහාන් නුවරට ඊයේ අලුයම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රාන්ත කිහිපයකින් ගුවනට ප්‍රහාර එල්ල කරමින් ඩ්‍රෝන 3ක් බිඳ හෙළා ඇතැයි එරට රජයේ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ස්කයි පුවත් සේවය සඳහන් කළේය. එය ඊශ්‍රායලය වෙතින් එල්ල වූ ප්‍රහාරයක් බවට ඉරානය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැති අතර, ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැතැයි වාර්තා වේ.
ඉරානයේ ටෙහ්රාන් අගනුවරට කිලෝමීටර් 440ක් දකුණු දෙසින් පිහිටි ඉස්ෆහාන් නුවර විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බවට වාර්තා පළවූවද, එය ගුවන් ආරක්ෂක පද්ධතියෙන් එල්ල කළ ප්‍රහාරවල ශබ්ද බව ප්‍රාන්ත හමුදා ප්‍රධානියා තහවුරු කර ඇතැයි ටෙහ්රාන් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
ප්‍රහාරය එල්ලවූ ඊයේ දිනයේ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනිගේ උපන් දිනය යෙදී තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇති අතර, මේ ප්‍රහාරයෙන් කිසිදු දේපළ හානියක් හෝ ජීවිත හානියක් සිදු වූ බවට තොරතුරු වාර්තා නොවන බව ද සඳහන් වේ.
ඉරානය විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වුවහොත් ප්‍රතිප්‍රහාර දරුණු වනු ඇතැයි මීට පෙර ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ද, ඊයේ ප්‍රහාරයට ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉරාන රජයේ රූපවාහිනිය මේ ප්‍රහාරය ගැන වාර්තා කර ඇත්තේ ඊයේ අලුයම ඉස්ෆහාන් නුවර ඉහළ අහසේදී නිරීක්ෂණය වූ ඩ්‍රෝන 3ක් එරට ගුවන් ආරක්ෂක පද්ධතියෙන් විනාශ කළ බව පමණි.
****
ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලයයි – අමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ කළ බව බීබීසීය කියයි
මීට දින 5කට පෙර ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ඉරානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව අමෙරිකානු නිලධාරින් ප්‍රකාශ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මේ අතර ඉතාලි විදේශ ඇමැති එරට ඊයේ නිමාවට පත් වූ රටවල් හතේ (ජී-7) විදේශ ඇමැතිවරුන්ගේ රැස්වීමේදී සඳහන් කර ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය විසින් අමෙරිකාව දැනුවත් කර ඇත්තේ අවසන් මිනිත්තුවේදී බවය. එසේ වුවද අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝනියෝ බ්ලින්කන් ඉරානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් වැළකී සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බීබීසී වාර්තාකාරිනිය ජෙසිකා පාකර් විසින් අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන කිසිදු ප්‍රහාරයකට අමෙරිකාව සම්බන්ධ නොවන බව පමණි.
****
ඉස්ෆහාන් ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් නෑ – ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්
ඉරානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ හානි කිරීමට නොව අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස යැයි ඊශ්‍රායල නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද, ඊට ප්‍රතිචාර දැක්වීමේ හදිසි සැලසුමක් ඉරානයට නැතැයි ද ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව ‘ජෙරුසලම් පෝස්ට්’ පුවත් සේවය වාර්තා කළේය.
ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බවට ඇතැම් ඊශ්‍රායල දේශපාලනඥයන් ප්‍රකාශ නිකුත් කළ බව සඳහන් කර ඇති ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා, ඉස්ෆහාන් නුවරට එල්ල වූ ප්‍රහාරය පසුපස සැබැවින්ම ඊශ්‍රායලය සිටින්නේදැයි සැක සහිත බවද වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.
එම ප්‍රහාරය පිළිබඳ විදේශීය මූලාශ්‍රය මෙතෙක් තහවුරු වී නැති බවත්, එය ප්‍රහාරයකට වඩා ආක්‍රමණයක් ලෙස පෙනී යන බවත් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම එය කිසිදු බාහිර ප්‍රහාරයකින් එල්ල වූ ප්‍රහාරයක් බවට කිසිදු තොරතුරක් නැති බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරානයට කිසිදු සැලසුමක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
DMN