බදාදා, 08 මැයි 2024 14:38

මැඩෝනාගේ බ්‍රසීල ප්‍රසංගයට ප්‍රේක්ෂකයෝ ලක්ෂ 16ක් ඇවිත් Featured

සුප්‍රකට බටහිර ගායිකා මැඩෝනාගේ ලෝ වටා සංගීත චාරිකාව අතරතුර බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර කොපකාබානා මුහුදු වෙරළේ නොමිලේ පැවැති සංගීත ප්‍රසංගය නැරැඹීමට ලක්ෂ 16ක ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහාභාගි වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

මෑත කාලයේ ඕනෑම සංගීත ප්‍රසංගයකට සහභාගි වී වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව එය බව ද වාර්තා වේ. සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැති එම ප්‍රසංගය නැරැඹීමට බ්‍රසිලයේ නන් දෙසින් ප්‍රේක්ෂකයන් රියෝද ජැනයිරෝ නුවරට පැමිණ ඇති අතර, අතිරේක ගුවන් ගමන් වාර 170ක් යොදවා තිබූ බැවින් අගනුවර ගුවන්තොටුපොළ කාර්ය බහුල වූ බව ද වාර්තා වේ. 65 හැවිරිදි මේ සුප්‍රකට ගායිකාවගේ 40 වසරක සංගිත දිවියේ පැවැති විශාලතම සංගීත ප්‍රසංගය මෙය වන අතර, ඇය පැය දෙකකට අධික කාලයක් ගී ගැයූ බව ද වාර්තාවේ.

මේ දිනවල බ්‍රසීලයට බලපාන සෙල්සියස් අංශක 30කට වැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් එරට ගිනි නිවන හමුදාව ප්‍රසංගයට පෙර මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම ජලයෙන් තෙත් කිරීමට කටයුතු කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට අමතරව පැමිණ සිටි ප්‍රේක්ෂකයන්ට නොමිලේ පානීය ජල බෝතල් බෙදා හැරීමට ද සංවිධායකයන් පියවර ගත් බවත් වාර්තා වේ. මේ ප්‍රසංගය නොමිලේ පැවැත්වීම සඳහා රියෝද ජැනයිරෝ නගර පාලනාධිකාරිය අමෙරිකානු ඩොලර් මිලියන 3.9ක මුදලක් වැය කර ඇති අතර, පෞද්ගලික අංශයේ අනුග්‍රාහකත්වයෙන් සෙසු වියදම පියවා ගෙන ඇතැයි වාර්තා වේ. මැඩෝනාගේ ප්‍රසංගය හේතුවෙන් ගුවන්තොටුපොළ ඇතුළුව අගනුවර ආදායම සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇති අතර, සමස්ත ආදායම ඩොලර් මිලියන 57 ඉක්මවනු ඇතැයි තක්සේරු කර තිබේ.

DMN

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website