බදාදා, 31 ජූලි 2024 10:10

කේරළයේ දරුණු නායයෑමකින් 63ක් මියයති Featured

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයට අයත් වයනාඩ් දිස්ත්‍රික්කයේ ඊයේ (30) හටගත් දැවැන්ත නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 63 දෙනකු පමණ මියගොස් ඇති අතර තවත් 100 දෙනකු පමණ තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් ඊයේ (30) දහවල් වාර්තා කර තිබිණි.

මෙම දිනවල කේරළ ප්‍රාන්තයට ඇදහැළෙන ධාරානිපාත වැසි හේතුවෙන් හටගෙන ඇති මෙම දැවැන්ත නායයෑම්වලින් විපතට පත්ව සිටි 250 දෙනකු පමණ බේරාගෙන ආරක්ෂිත ප්‍රදේශ කරා ගෙනයෑමට බලධාරීන් විසින් පියවර ගෙන තිබූ බව වාර්තා වේ.

ඊයේ උදෑසන කාලයේ කඳුකර ප්‍රදේශයක් වන වයනාඩ් දිස්ත්‍රික්කයේ හටගෙන ඇති මෙම නායයෑම් නිසා කඩා වැටුණු පස් කඳුවලට යටවී සිටින පිරිස් සොයා සිදු කෙරෙන මෙහෙයුම්වලට සහාය වීම සඳහා ඉන්දීය හමුදාව සිය භටයන් 200 කට අධික පිරිසක් ව්‍යසනය සිදු වූ ප්‍රදේශවලට යවා ඇති බවද වාර්තා විය. වයනාඩ් දිස්ත්‍රික්කයේ මුණ්ඩක්කායි, අට්ටමලා, චුරල්මලා හා කුන්හොම් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදුව ඇති මෙම නායයෑම් හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති අතර මඩ මිශ්‍රිත ජලය මාර්ගවලට ගසා ගෙන ඒම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website