සදුදා, 09 සැප්තැම්බර් 2024 13:40

ගගනගාමීන් අභ්‍යවකාශයේ තනි කර ‘ස්ටාර්ලයිනර්’ යළි පෘථිවියට ඇවිත් Featured

අමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය පසුගියදා ගගනගාමීන් රහිතව යළි පෘථිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිලියම් ද්‍රාවණය කාන්දුවීම ඇතුළු කාර්මික දෝෂ රැසක් හටගැනීම හේතුවෙන් එම යානය ගගනගාමින් රහිතව පෘථිවියට ගොඩ බස්වා ඇත්තේ ද මාස දෙකකට පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 11.00 පමණ ස්ටාර්ලයිනර් යානය නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයේ අභ්‍යවකාශ වරාය වෙත ගොඩ බස්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දින අටක චාරිකාව මාස අටකට දීර්ඝ කරමින් නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනා පෘථිවියට ගෙන්වා ගැනීම ලබන වසරේ පෙබරවාරිය දක්වා දීර්ඝ වී ඇතැයි ද, ඒ සඳහා නාසා ආයතනයේ ප්‍රතිවාදියා වන එලෝන් මස්ක්ට අයත් ස්පේස් එක්ස් යානය කුලියට ගැනීමට නාසා ආයතනය තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

58 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා නිලධාරිනියක වන සුනිතා විලියම්ස් සහ 61 හැවිරිදි නාවික හමුදා කපිතාන්වරයකු වන බච් විල්මෝර් රැගෙන ස්ටාර්ලයිනර් යානය පෘථිවි කක්ෂයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් ඇත්තේ පසුගිය ජූනි මස 5 වැනිදා වන අතර, ඔවුන් නැවත එම යානයෙන්ම පෘථිවියට ගෙන්වා ගැනීමට නාසා ආයතනය මාස දෙකකට වඩා කාලයක් පුරා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ගගනගාමින් සමඟ සම්බන්ධ වෙමින් යානයේ කාර්මික දෝෂ යථා තත්ත්වයට පත් කරගැනීමට උපදෙස් ලබා දී තිබුණද එය සාර්ථක වී නැති බවත්, අනතුරුව ගගනගාමීන් රහිතව ස්ටාර්ලයිනර් යානය යළි ගෙන්වා ගැනීමට තීරණය කළ බවත් මීට පෙර වාර්තා වී තිබිණි.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිර වී සිටින සිය ගගනගාමීන් දෙදෙනාට අවශ්‍ය ආහාර හා ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මේ මස මුල් භාගයේදී නාසා ආයතනය විසින් භාණ්ඩ ප්‍රවාහන යානයකින් අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මීට අමතරව රුසියාව ද ආහාර ඇතුළු ටොන් 3ක භාණ්ඩ තොගයක් යැවීමට පියවර ගෙන තිබිණි.

DMN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website