එක්සත් ජාතීන්ගේ මහ සභාව ලෝක ආදිවාසීන්ගේ දිනය සැමරීමට 1994 අගෝස්තු මස 09 වන දින යෝජනා කරන ලදි. (49/214 ප්‍රඥප්තිය) එහි 59/174 ට අනුව 2004 දෙසැම්බර් 20 වන දින රැස් වූ මහා සභාව විසින් ආදී වාසී ජනයා පිළිබඳ දෙවන ජාත්‍යන්තර දශකය ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව 2005 සිට 2014 දක්වා ආදි වාසී දශකය බලපැවැත් වීය. ආදිවාසී දිනය සැමරීම සඳහා පළමු යෝජනාව කරළියට පැමිණියේ 1982 වර්ෂයේ දී ය. ඒ යෝජනාව ලෝක ප්‍රජාව හමුවේ ප්‍රථමයෙන්ම ගොනු කරන ලද්දේ මානව හිමිකම් සුරැකීම හා දිරිගැන්වීම පිළිබඳ උප කොමිසමේ ආදිවාසී ජනයා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමෙනි.
බින්තැන්න යන වචනය ඇසෙත්ම අපේ මතකයට නිතැතින්ම සිහි වන්නේ වැදි ජනතාව ය. වර්තමානය වන විට වැදි ජනයා පිළිබඳ කතිකාවත ලාංකීය සමාජය තුළ ප්‍රබල ස්ථානයක් ගෙන ඇති ආකාරයක් අපට දැක ගත හැකි ය. වැදි ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කරන පිරිසක් මෙන්ම වැදි ජනයාගේ අයිතිවාසිකම් විවේචනය කරන පිරිසක් ද අද වන විට කරළියට පැමිණ තිබේ. සංස්කෘතික වශයෙන් සුවිශේෂ අනන්‍යතාවයක් සහිත මේ ජන කොට්ඨාසය මෙරට බොහෝ ප්‍රදේශවල වාසය කළ බවට සාක්ෂි තිබුණ ද වර්තමානය වන විට ඉතාම සීමිත ප්‍රදේශයකට ඔවුන් කොටු වී තිබේ.
අනාදිමත් කාලයක සිට මෙරට වැදි ජනයා වාසය කර ඇති බවට විවිධ සාක්ෂි තිබුණ ද මේ පිළිබඳව විද්‍යාත්මක පදනමකින් පර්යේෂණ ආරම්භ කර ඇත්තේ දහ නව වන සියවසේ ආරම්භක අවදියේ පටන් ය. මේ සඳහා දැඩි දායකත්වයක් ඉංග්‍රීසි ජාතික පර්යේෂකයන් ලබා දී තිබේ. වැදි ජනයා පිළිබඳ විස්තර ඇතුළත් ග්‍රන්ථ මෙන්ම පර්යේෂණ පත්‍රිකා ද විශාල ප්‍රමාණයක් පසු කාලීනව මේ පර්යේෂකයන් අතින් බිහි වී තිබේ. මෙයට අමතරව මෑත ඉතිහාසය තුළ දී වැදි ජනයා පිළිබඳව පර්යේෂණාත්මක ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් දේශීය විද්වතුන් අතින් බිහි වී තිබේ.
වැදි ජනයා මිනිස් වාසයෙන් යම් තරමක් ඈත්ව වනාන්තරය තුළ හෝ වනය ආශ්‍රිතව ස්වාධීන හා ස්වයංපෝෂිත ජීවිතයක් ගත කළ ද අද වන විට ඒ සියල්ල කනපිට පෙරළෙමින් පවතී. ‘මහ වැදි රට’ වශයෙන් අතීතයේ සිට පැවැති වැදි ජනයාගේ පාරම්පරික ප්‍රදේශ ජනාවාස සඳහා තෝරා ගැනීම නිසා ඔවුන්ගේ සාම්ප්‍රදායික භූමි මේ වන විට අහිමි වී තිබේ. මේ නිසා වැදි ජනයාට පාරම්පරික ජීවන රටාවෙන් අකැමැත්තෙන් වුව ද ඉවත් වීමට සිදු වී තිබේ. එනම් සාම්ප්‍රදායික ආහාර රටාවෙන් හා වන සතුන් පසු පස හඹා යමින් ගතකල කායික පැවැත්මෙන් ඔවුන්ව බලහත්කාරයෙන් ඉවත් කර තිබේ. මේ නිසා ඔවුන් අද කායික මෙන්ම මානසිකව ද පසුගාමී තත්ත්වයට පත්ව තිබේ.
ජෛව විවිධත්වය අද ලෝකයේ ප්‍රචලිත මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ නිසාම ජෛව විවිධත්වය හා බැඳුණු ජාන විවිධත්වයට ද ඉහළ වටිනාකමක් හිමිව තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජෛව විවිධත්වයේ අනාගත සුරක්ෂිත භාවය සෘජුවම බැඳී ඇත්තේ ජාන විවිධත්වය මත වීමය. නමුත් අද වන විට ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ ජාන විවිධත්වයේ සැබෑ හිමිකම සහ ජෛව විවිධත්වයේ සැබෑ හිමිකම සම්බන්ධයෙන් අදාළ රටට තවදුරටත් හිමිකම් කිව හැකි ද යන්නය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ලොව පවතින ශාක සහ ජෛව විශේෂවල ජාන ඇතුළු මානව ජාන සම්පත ද ඔවුන්ගේ ප්‍රවේණි උරුමය ද වර්තමානයේ විවිධ උපක්‍රම ඔස්සේ බටහිර රටවල ඒකාධිකාරී අයිතියක් බවට පත් වෙමින් තිබීමය.
නීතිඥ නිශාන්ත සමන් කුමාර