සෙනසුරාදා, 19 අගෝස්තු 2023 08:41

හෝමාගම ගිනි ගත් රසායනික ගබඩාවට අවසර ගෙන නෑ Featured

ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවා – මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති

පට පට ගාලා ශබ්දයක් ඇසුණා: ගිනි දැල් නැගුණා – ප්‍රදේශවාසීහු

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ගිනිගත් තීන්ත හා රෙදිපිළි නිෂ්පාදනාගාර තුළ රසායනික ද්‍රව්‍ය ගබඩා පවත්වාගෙන යෑමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසර බලපත්‍රයක් ලබාගෙන නොතිබූ බව හෙළි වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවසීය.

මෙම ගින්න හේතුවෙන් පරිසරයට සිදුවී ඇති හානිය ගැන ද සොයමින් තිබෙන බව ද හෙතෙම කීය.

එමෙන්ම, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ) මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා මෙසේ පැවසීය.

මෙම ගින්න ඇති වූ කර්මාන්ත ශාලාවට මධ්‍යම පරිසර අධිකාරියේ අවසර බලපත්‍රයක් අරගෙන නැති බව දැනට කරපු විමර්ශනවලින් හෙළි වෙලා තියෙනවා. ඉදිරියේ මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. මේ දුම නිසා කර්මාන්ත භූමිය තුළත් පරිසරයටත් හානියක් සිදු වෙලා තිබෙනවා. මොවුන් තීන්ත හා රෙදිපිළි කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන අතරම රසායනික ද්‍රව්‍ය ගබඩාවකුත් එහි පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒකටත් අවසර නැහැ.

දැන් තියෙන තත්ත්වය අනුව කර්මාන්තපුරයේ ඉන්න ප්‍රදේශවාසීන් මුව ආවරණ පැළඳ සිටීම ඉතා වැදගත්. තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා.

රසායනික ද්‍රව්‍ය ගබඩා කරන ගබඩාවක් පවත්වාගෙන යන කොට අනුගමනය කළ යුතු උපදෙස් තිබෙනවා. ඒ උපදෙස් අනුගමනය නොකරමින් තමයි මේ ගබඩාව පවත්වාගෙන ගිහින් තියෙන්නේ.

මෙවැනි ගිනි ගැනීම් සිදුවන අවස්ථාවලදී මෙවැනි දේවල් නැරඹීමට යෑමෙන් වළකින්න. එහෙම යෑමෙන් ඔබේ සෞඛ්‍යයට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. මෙවැනි ගිනි ගැනීමක් ඇති වුණොත් පුළුවන් තරම් ඈතට යන්න.

හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ තීන්ත හා රෙදිපිළි නිෂ්පාදනාගාරයක් 17 වැනිදා රාත්‍රියේ ගිනිගෙන මෙසේ මුළුමනිම් දැවී විනාශ විය.

මෙම ගින්න මැඩ පැවැත්වීමට පැය 7 ක කාලයක් ගතවුණි. ගින්නෙන් තීන්ත හා රෙදිපිළි කර්මාන්තශාලාවට සිදුවූ ආලභය මෙතෙක් ගණනය කර නොමැත.

මෙම ගින්න මැඩ පැවැත්වීමට කෝට්ටේ හා හොරණ ගිනි නිවන ඒකකවල රථ 5 ක් හා පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකවල රථයක් යොදා ගැනුණු අතර, එම නිලධාරීහු ගින්න මැඩ පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දැරූහ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැත.

මෙම ගින්න ඇති වන අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව ඇති අතර, තවත් පිරිසක් කලබලයෙන් මෙන් දිවගොස් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

මේ අතර හෝමාගම අවට පදිංචිකරුවන්ට මුව ආවරණ පළඳින ලෙසට කොළඹ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

yfcnf

“ගින්නත් සමග පට පට ගාලා පිපුරුම් සද්ද ඇහෙන්න වුණා. ලොකු දුමකුත් ආවා. හුස්ම ගන්න අපහසු බවකුත් දැනුණා. ගින්නෙන් පැත්තම එළිය වැටිලා තිබුණා. මාර බයක් අපේ හිතට ආවා.” යැයි හෝමාගම, කටුවාන තීන්ත කම්හලේ ගින්න සියැසින් දුටු ප්‍රදේශවාසියෙක් ‘දිවයින’ට පැවසුවේය.

තවදුරටත් කතා කළ ඔහු මෙසේ කියා සිටියේය.

මම පාරේ හිටියේ. එකපාරටම පට පට ගාලා පුපුරණ සද්දයක් ඇහුණා ඒ එක්ක. විශාල ගින්නක් හටගත්තා. කෙමිකල් නිසා ගින්න සැරට ගියා. ජීවිත හානි කාටවත් වුණේ නැහැ. ඒ වුණාට මේවා වගකීමක් ඇතිව පවත්වාගෙන යන්න එපැයි.

මාධව මහතා

බලන්න මේ ගින්න නිසා පරිසරයට වෙලා තියෙන විනාශය. අහසම කළු වෙලා. කොච්චර විෂ දුමක් පරිසරයට මුදාහැරිලද? අනිත් එක ප්‍රදේශයේ ජනතාවට කොච්චර සෞඛ්‍ය අවදානමක් ඇති වෙලා තියෙනවද?

නාලක මහතා

මේ ප්‍රදේශයේ විශාල ජනතාවක් ඉන්නවා. ගින්න නිවන්න රථ එනකොට ටිකක් ප්‍රමාද වුණා. යුද හමුදාවෙන් අනගි සහයෝගයක් ලැබුණා. මුළු අහසම රතු පාටට පේන්න ගත්තා. මාර ගින්නක්. මිනිස්සු ඔක්කොම බය වෙලා හිටියේ ගෙවල් ටිකත් විනාශ වෙයි කියලා.

yrcbcbc

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, පින්සිරි ආරියරත්න – රත්මලාන

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website