අඟහරුවාදා, 22 අගෝස්තු 2023 16:44

දවසකට අලුත් පිළිකා රෝගීන් දහසක් දෛනිකව අපේක්‍ෂා රෝහලට එනවා Featured

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර

සියල්ලෝම සුවපත් වෙත්වා…

ආහාර රටාව ඇතුළු විවිධ හේතු නිසා රටේ දෛනික පිළිකා රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. දෛනිකව රෝගීන් 1000 ක් පමණ වාර්තා වන බවත්, සායන සඳහා ද ගත් කල 2000ක පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහලට පැමිණෙන බවත් ඒ මහතා පැවසීය. දිවයිනේ අනෙකුත් රෝහල් රැසක ද පිළිකා ප්‍රතිකාර ඒකක පවතින නිසා එම රෝහල්වල ද පිළිකා රෝගීන් වාර්තාවන බව ඒ මහතා කීය.

අධ්‍යක්‍ෂවරයා මෙම අදහස් පළකළේ ඉකුත් 19 දාට යෙදුණු ජාත්‍යන්තර ඡායාරූප දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් රුපියල් ලක්‍ෂ 10 ක් පමණ වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්‍ෂා රෝහලට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එම සංගමයේ සභාපති රනිල් රූපසිංහ, ලේකම් නික්සන් ඇඹුල්දෙනිය යන මහත්වරුන් ඇතුළු සංගමයේ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දෛනිකව පිළිකා රෝගීන් වැඩිවීමට බුලත්විට කෑම, ආහාර, දුම්පානය, මත්පැන් පානය වැනි කාරණා වැඩි වශයෙන් හේතු වී තිබෙන බව පෙනී යන බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය. පිළිකා රෝගය කල්තියා හඳුනාගැනිමෙන් එය සුව කළ හැකි බවත්, රෝගී වන දරුවන්ගෙන් සියයට 75 ක් 80 ක් සුවය ලබන බවත් ඒ මහතා පැවසීය. බොහෝ විට රෝගීන් මියයන්නේ රෝගය හඳුනාගැනීමට ප්‍රමාදවීම නිසා බවත් විශේෂයෙන් කාන්තාවන් වයස අවුරුදු 40 ඉක්මයෑමෙන් පසු පියයුරු පරික්‍ෂාව වැනි පරීක්‍ෂණ සිදුකර ගැනීම වඩාත් යෝග්‍ය බවත් ඒ මහතා කීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ඖෂධ සම්බන්ධයෙන් ගැටලු මතුවන බවත්, එහෙත් අසවල් ඖෂධය නොමැති බව ප්‍රකාශ කළ නොහැක්කේ ඇතැම් විට එම ඖෂධය දිනක් දෙකක් ඇතුළත ලැබීමට ඉඩ තිබෙන නිසා බවත් පැවසූ වෛද්‍ය අරුණ ජයසේකර මහතා අපේක්‍ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කරන්නේ නම් රෝහලේ 0777-468503 පරිත්‍යාග අංශයට කථාකර එම පරිත්‍යාග කෙළින්ම රෝහලට භාරදිය හැකි බව ද වැඩිදුරටත් කියා සිටියේය.


චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website