බදාදා, 23 අගෝස්තු 2023 10:35

ගාල්ල හිරගෙදර තත්ත්වය උග්‍ර වෙයි – ආසාදිතයෝ 8ක් රෝහලේ Featured

මීට පෙර දෙදෙනකු මියයෑමට හේතුවත්මෙම බැක්ටීරියාව බවට සැකයක්

බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අටදෙනකු මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

හදිසියේ ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පෙරේදා (21දා) පස්වරුවේ ද රැඳවියන් තිදෙනකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. මෙකී බැක්ටීරියාව ආසාදනය වීමෙන් රැඳවියන් දෙදෙනෙක් මීට දින කිහිපයකට පමණ පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියහ.

බැක්ටීරියාවක් ආසාදනය වී මෙනින්ගොකොකල් නමැති රෝගය වැළඳීමෙන් මෙම රැඳවියන් දෙදෙනා මියයන්නට ඇති බවට සැක කෙරේ.

මෙම රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කොට ඇති අතර පටකවේද පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගත් බැව් අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිය ආරච්චි මහත්මිය සඳහන් කළාය. මෙකී මරණ සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී ඇත. බැක්ටීරියාවක් ශරීර ගතවීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට සැක කෙරෙන අතර මෙම බැක්ටීරියාව ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ගේගේ සිරුරුවලට ඉතා ඉක්මනින් ඇතුළු වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍යවරයෙක් පැවසීය. නාස් පුඩුවල ඇතුළත මෙම බැක්ටීරියාව තිබිය හැකි බවත් එය ශරීරගත වීමෙන් මරණය පවා සිදුවිය හැකි බවත් වෛද්‍යවරු පවසති.

මෙම බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීමත් සමග රැඳවියන්ට සහ නිලධාරීන්ට මුව ආවරණ පළඳින ලෙස උපදෙස් ලබා දී ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.

මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් වසංගත ඒකකය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website