ඉරිදා, 27 අගෝස්තු 2023 10:26

ඉන්න හිතෙන රට හදනකොට යන අය සේරම ගිහින් Featured

බුද්ධි ගලනය පටන්ගත්තේ 1956 දී

රාජ්‍ය සේවයේ වැඩි දෙනෙක් රටෙන් ගිහින්!
මානව සම්පත් වටිනාකම

පාසල් අධ්‍යාපනය ලබන බොහෝ දෙනෙක් ආර්ථික විද්‍යාව, ප්‍රජාචාරය, සමාජ විද්‍යා ආදී විෂයන්වල දී ඕනෑම රටක සංවර්ධනය සඳහා අවශ්‍යවන සම්පත් පිළිබඳ ඉගෙන ගනී. රටක සංවර්ධනය සඳහා භෞතික සම්පත්, භූමිය, මූල්‍ය සම්පත් හා මානව සම්පත් අවශ්‍ය බව එම විෂයන්වල දී සිසුන් ඉගෙන ගනී. එමෙන්ම එම පාඩම්වල දී කියාදෙන මතයක් නම් මානව සම්පත් නොමැතිව අනෙක් කිසිදු සම්පතක් වටිනාකමක් නොමැති තත්ත්වයේ පවතින බවයි. නිසි මානව සම්පත් සංවර්ධනයකින් හා කළමනාකරණයකින් අකෙකුත් සම්පත් සඳහා මිල කළ නොහැකි වටිනාකම් ලබාදිය හැකි බව ද එම සරල ඉගැන්වීම් හරහා දැනුම ලබාදේ. රටක දියුණුව සඳහා සැලකිය හැක්කේ නිසි මානව සම්පත් යෙදවීම් හරහා අනෙකුත් සම්පත් තරගකාරීව දියුණුකර ගනිමින් තම රටේ ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ඇති කර දීමයි. කෙසේ වුවද ශ්‍රී ලංකාව නිදහසින් පසු මෙම තත්ත්වයන් තේරුම් නොගැනීම නිසා අපගේ මානව සම්පත් විදේශවල සංවර්ධනය සඳහා යවන හා එම රටවලට සංක්‍රමණය වීම සඳහා ප්‍රතිපත්ති හා පරිසරය සකස් කරන නිසා හා මානව සම්පත රටින් පිටවීම බරපතළ ඛේදවාචකයක් වී ඇත.

මානව සම්පත් වටිනාකම තේරුම්ගත් සමාජයන්

සිංගප්පූරුව ලෝකයේ ඉතාම දියුණු රටක් බවට පත්වූයේ මූලිකවම මානව සම්පත් සංවර්ධනය මගිනි. ඔවුන් ඉතා කුඩා දූපතක් වන අතර විශාල ලෙස භෞතික සම්පත් හෝ භූමි සම්පත් හෝ මූල්‍ය සම්පත් නොමැතිව නිසි මානව සම්පත් කළමනාකරණයක් හා සංවර්ධනයක් හරහා අනෙකුත් සෑම සම්පතක්ම ඉතාමත් තරගකාරීව දියුණු කර ගනිමින් ලෝකයේ ආර්ථික වශයෙන් හා සමාජ වශයෙන් උසස් ජීවන තත්ත්වයක් පුරවැසියාට ලබාදී ඇත.

මානව සම්පත් අගය නිසි ලෙස තේරුම් නොගත් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ ශ්‍රී ලංකාව ලෝකයේ අසාර්ථකම රටවල් අතරට එක්කොට ඇත. සිංගප්පූරුව හා වෙනත් රටවල් සමග සැසඳීමේදී සංසදනාත්මකව ශ්‍රී ලංකාවට බොහෝ සම්පත් ඇත. ශ්‍රී ලංකාවේ භූමිය, එහි පිහිටීම දේශගුණය, ස්වභාවික සම්පත් මෙන්ම ඉතා වටිනා මානව සම්පතක් අපට ඇත. එහෙත් එය නිසි යෙදවීමක් හා සංවර්ධනය නොවීම මත අනෙකුත් සම්පත් දියුණු කර ගැනීමට මානව සම්පත් දායකත්වය අවම වී ඇත. බොහෝ නොදියුණු අප්‍රිකානු රටවල් ද මෙම තත්ත්වයේ පසු වේ. බොහෝ එබඳු රටවල ඛනිජ සම්පත්, ස්වභාවික සම්පත් ආදිය මගින් පොහොසත් වුවත් මානව සම්පත් නිසි කළමනාකරණයක් සිදුනොවීම මත එම රටවල ඉතා වටිනා භෞතික සම්පත් පවා ලෝකයේ දියුණු රටවල සූරා කෑමකට යටත්වී එබඳු රටවල ජනතාව ඉතා නොදියුණු ජීවන තත්ත්වයන් උරුම කර දී ඇත.

මානව සම්පත් සූරාකෑම නව යටත් විජිතවාදි ප්‍රවේශයක් ද?

යටත් විජිත යුගයෙන් පසු ලෝකයේ ප්‍රබල නව යටත් විජිතවාදී ග්‍රහණයක් මගින් දුප්පත් රටවල් තවදුරටත් සූරාකෑමේ ප්‍රවේශය හා ආක්‍රමණයන් ඇතිවෙන බව විවිධ වූ දේශපාලන මතවාදයන් පෙන්වා දී ඇත. මෙය බොහෝවිට යටත් විජිත යුගයේ දී ආර්ථික වාසි ලබාගත් දියුණු බටහිර රටවල නව යටත් විජිතවාදී ප්‍රවේශයකි. බොහෝ බටහිර රටවල් සිය ආර්ථික ප්‍රබලත්වය යටත් විජිත ප්‍රවේශයන් හරහා ඇතිකරගත් අතර ඒවා තවදුරටත් වර්ධනය කර ගැනීමේ තරගය සඳහා ඔවුන්ට ප්‍රමාණවත් මානව සම්පතක් නොවීය. කාර්මික කරණය හා වාණිජ කරණය සඳහා අවශ්‍ය මානව සම්පත් හිඟය ඔවුන්ට ප්‍රබල අභියෝගයක් විය.

තම යටත් විජිත සඳහා නිදහස ලබාදුන් මුල්කාලවල දී එම රටවල උගත් හා වෘත්තිමය හැකියාවන් සහිත මානව සම්පත් සිය රටවලට අද්දවා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදුන් අතර ඒ සඳහා එම යටත් විජිත රටවල තිබූ සමාජ ආර්ථික හා සංස්කෘතික ගති ලක්‍ෂණ ද ප්‍රයෝජනයට ගනු ලැබීය. උදාහරණය ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හැකියාවන් දියුණු කරගත් ප්‍රභූ සමාජය තම දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා එංගලන්තයට හෝ ඇමෙරිකාවට යැවීම සමාජ මානසික අහංකාරය ඒ සඳහා පෙළඹවීමක් ඇති කර වීය. මේ ආකාරයට උගත් බොහෝ පිරිස් සඳහා වීසා බලපත් ලබාදීම පහසුකර වීම තුළ බොහෝ උගතුන් සමාජ පිළිගැනීම හා අධ්‍යාපනය පදනම් කරගෙන විදේශ ගතවීම සිදුවේ. එය එක්තරා දුරකට ශ්‍රී ලංකාවේ මානව සම්පත් වටිනාකම් එම රටවලට ඇද ගැනීමේ නව යටත් විජිතවාදී ප්‍රවේශයක් විය.

ශ්‍රී ලංකාවේ මානව සම්පත් විදේශගත කර වීම සඳහා පසුකාලීනව විවිධ නව යටත් විජිතවාදී උපක්‍රමයන් බටහිර රටවල් විසින් සාර්ථකව අත්හදා බලන ලදී. ශ්‍රී ලංකාවේ භාෂා ප්‍රතිපත්තිය හරහා සිදුකරනු ලැබූ සමාජ පරිවර්ථනයන් සමග බොහෝ හැකියාවන් සහිත පවුල් තම දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන අයිතිය රැකගැනීම සඳහා ද පවුල් පිටින් විදේශගත වීම ඇරඹීම 1950 භාෂා හා සමජ විප්ලවය හරහා සිදුවේ. බොහෝ සමාජ හා දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ 1956 සමාජ ප්‍රතිසංස්කරණ බටහිර ඔත්තු සේවාවල බලපෑම තුළ සිදුවූ නව යටත් විජිත ග්‍රහණයක් බවත් ඒ හරහා ඉදිරි සමාජ හා ආර්ථික ව්‍යාකූලතාවයන් ඇතිවීම හා ඇතිකරවීම ඔවුන් තක්සේරු කරනු ලැබූ බවත්ය.

56 විප්ලවය හා බුද්ධිගලනය

1956 සමාජ විප්ලවය මගින් කරුණු 2 ක් බොහෝ සමාජ ආර්ථික අර්බුදයන් සඳහා අධිවේගී මාර්ගයන් නිර්මාණය කරනු ලැබීය. ඉන් ප්‍රධාන එකක් වන්නේ භාෂා ප්‍රතිපත්තියයි. භාෂා ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ වටිනා මානව සම්පත් බටහිරට සංක්‍රමණය සඳහා හේතු සාධක විය. එය මේ දක්වාම නිමක් නොවන මානව සම්පත් හා බුද්ධිගලනයකට පාර කැපීය. මුල් යුගවල දී යමක් ඇති නැති අය ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම මත විදේශගතවූ අතර මෑත භාගයේ සිට වර්තමානය දක්වා ම ඉංග්‍රීසි භාෂාව පදනම් කරගත් අධ්‍යාපනය සඳහා මානව සම්පත් බටහිරට හා වෙනත් රටවලට ඇදී යෑම නොකඩවා සිදුවේ. මෙය බුද්ධි ගලනයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රවාහයක් ලෙස ද වර්ධනය වී ඇති අතර එය හොර පාරේ මූල්‍ය සම්පත් හා මානව සම්පත් විදේශවලට ගලා යෑමේ විෂම චක්‍රයක් ලෙස ද වර්ධනය වී ඇත.

56 විප්ලවයේ දෙවන ප්‍රවේශය වන්නේ කළමනාකාරි ප්‍රවේශයයි. විශේෂයෙන්ම පෞද්ගලික අංශය අඩපණ කරමින් එවකට තිබූ හා ලැබීමට තිබූ විදේශ ආයෝජන ජනසතු කළමනාකරණ ප්‍රවේශය මත අවම වීම ඇරඹේ. මේ හරහා සිංහල හෝ දෙමළ භාෂාවලින් උගත් තරුණ තරුණියන් සඳහා රැකියා හා බෙහෝ සමාජ ආර්ථික අවස්ථාවන් ගිලිහී යෑම ඇරඹේ. භාෂා ප්‍රතිපත්තිය හා ජනසතුවාදී ආර්ථික ප්‍රත්පත්ති නිසා සමාජය තුළ දීර්ඝ කාලීන සිවිල් අරගල හා සමාජ සටන් සංස්කෘතිකයක් සමාජය තුළ වර්ධනය වූ අතර ඒ මගින් දිගු කාලීන සමාජ අස්ථාවරත්වයන් ඇතිවේ. 1971 හා 88/89 කාලවල දකුණේ ඇතිවූ තරුණ අරගල හා දීර්ඝ කාලීනව උතුරේ ඇතිවූ භාෂාව දී අරගල ශ්‍රී ලංකා සමාජය හා ආර්ථිකය ප්‍රබල අභියෝග රැසකට යොමු කරනු ලැබීය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව යන්න හිතෙන රටක් බවට ක්‍රමයෙන් පරිවර්තනය වූ අතර ඒ හා සම්බන්ධ නිමක් නැති වෘත්තීය අරගල, වැඩවර්ජන ආදී ප්‍රවේශයන් මත ද හැකි සෑම පවුලක්ම තම දරුවන්ගේ අනාගතය සඳහා විදේශ ගතවීම පුළුල් සමාජ අවශ්‍යතාවයක් ලෙස වර්ධනය වූ අතර මේ මගින් වැඩි වශයෙන්ම ඉතා වටිනා මානව සම්පත් හා ශ්‍රී ලංකාවේ අනාගත මානව සම්පත ද කල්වේලා ඇතිව ම රටින් පිටවීම ශීඝ්‍ර වී ඇත.

මේ මගින් නිදහසින් පසු මානව සම්පත් සූරාකෑමේ බටහිර ප්‍රතිපත්තියට හා ක්‍රමෝපායට 1956 ඇතිවූ සමාජ හා ආර්ථික වෙස්කම් ද එකී දේශපාලන පෙළඹවීම් හා සංවර්ධනයන් බටහිර හා දියුණු රටවල මානව සම්පත් ආකර්ශනයන් සඳහා සුවිශාල වූ ශක්තියක් ගෙනදුන් නව යටත් විජිතවාදී ආක්‍රමණයක් ලෙස හැඳින්විය හැක.

මානව සම්පත් හා ඩොලර් අර්බුදය

ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ඈත් වී ඩොලර් උපයා ගැනීම සඳහා නිදහස් ආර්ථිකය යටතේ විදේශ රැකියා සංස්කෘතියක් ඇති කරයි. එක්තරා ආකාරයකට එය ක්‍රමයෙන් දියුණු වී ශ්‍රී ලංකාවට විදේශ මුදල් ගලා එන ප්‍රධාන මාර්ගය බවට පත්වේ. එහෙත් ඒ හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා ආර්ථිකය කඩා වැටීමටත් ඒ මගින් ඩොලර් ඉපයීමේ හැකියාවන් අඩපණ වන බවත්, එය එලෙස සිදුවී ඇති බවත් දේශපාලකයා තේරුම් නොගැනීම කාලීන ඛේදවාචකයකි. කාන්තා ශ්‍රමය ගෘහ සේවා ආදි රැකියාවන් සඳහා ඇදී ගිය අතර වෙනත් සේවා සහන හැකියාවන් සහිත මානව සම්පත් ද මෙම දේශපාලන තීන්දු ගැනීම් මත අපට අහිමි වේ.

ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය මගින් විශේෂයෙන් විදේශ විනිමය ඉපයිය හැකි රටක් වුවත්, ශ්‍රී ලංකාවේ එයට අවශ්‍ය මානව සම්පත් මැද පෙරදිග හෝ සිංගප්පූරුවේ හෝ බටහිර රටවල සංචාරක කර්මාන්තයට ඇදී යෑම සිදුවේ. වෙනත් ඉදිකිරීම් හෝ නිෂ්පාදන ක්‍ෂේත්‍රවල මානව සම්පත් හිඟය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට හා විදේශ විනිමය සපයන වෙනත් ක්‍ෂේත්‍රවල ශ්‍රම හිඟය උග්‍රකර ඇත. මෙම අදූරදර්ශී මානව සම්පත් කළමනාකරණය මගින් ශ්‍රී ලංකාවට සැබැවින්ම අවාසිදායක මානව සම්පත් ගෙවුම් ශේෂයක් උරුම වී ඇත.

විදේශ රැකියා ප්‍රවේශය හා ප්‍රතිපත්තිය ද ශ්‍රී ලංකාවට අවාසිදායක බවට පර්යේෂණ කළ හැකි ප්‍රබල ප්‍රදේශයකි. විදේශවලට ශ්‍රම සැපයීම මත ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සේවා අංශය හා ව්‍යවසායකත්වයට දීර්ඝ කාලීන සිදුවූ පාඩු හා දුර්වලතාවයන් ගණනය කළ නොහැක. එමෙන්ම කාන්තා ශ්‍රමය බහුලව විදේශ ගතවීම මත සිදුවී ඇති සමාජ ඛේදවාචකයන්ට ද වන්දි ගෙවීමට නැවත ශ්‍රී ලාංකික සමාජයට සිදුවී ඇත. ඒ අනුව සලකා බැලීමේ දී මානව සම්පත් අගය වටහා නොගත් පාලකයන් හා දේශපාලකයන් තවදුරටත් දේශය අසාර්ථක දේශයක් බවට පත්කරමින් සිටී.

විදේශගතවීමට චක්‍රලේඛ

දේශීය හැරයෑමේ මානව සංස්කෘතිය ද පාලකයන් තේරුම් නොගත් යථාර්ථයකි. රජයේ වෘත්තිකයාට හා සේවකයාට විදේශ ගතවීම සඳහා චක්‍රලේඛ නිකුත් කිරීම දක්‍ෂකමක් හෝ ලොකු දෙයක් ලෙස හුවා දක්වන දේශපාලකයා ඒ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට හා සමාජයට සිදුවන හානිය තක්සේරු නොකරයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව හැර දමා විදේශගතවූ වෘත්තිකයන් හා පවුල් සංගණනයක් නොමැති තරම් වේ. එය ගණනය කළ යුතු වන්නේ ලක්‍ෂ ගණනණි. එමෙන්ම එලෙස ගිය බොහෝ දෙනා බටහිර හෝ දියුණු රටවල ස්ථාවර වී ඔවුන් පමණක් නොව ඔවුන්ගේ ඉදිරි පරම්පරාවේ මානව සම්පත් ද එම රටවල ආර්ථික සමාජ සංවර්ධනයට වැඩ කරයි. එය එලෙස තිබියදී විදේශ ගතවීමට තවදුරටත් අනුබල දීම සඳහා චක්‍රලේඛ ගැසීම අනුවන මානව සම්පත් කළමනාකරණයකි. විදේශ වල ස්ථිරවම පදිංචි වීම සඳහා යන පිරිස් බොහෝදුරට තම දේපළ ද විකුණා ඒවා හොර පාරේ ඩොලර්වලට පරිවර්තනය කර ගනිමින් ඒවා විදේශගත කිරීම පහසු දෙයකි. මේ අනුව මානව සම්පත් පිටරට යෑම තුළ බහුලව ඩොලර් විදේශ ගතවීම ද සිදුවේ. ස්ථිරව විදේශ ගතවුවන් හා චක්‍රලේඛ උනන්දු කිරීම් මත විදේශ ගතවන්නන් බොහෝදුරට ශ්‍රී ලංකාවට නැවත පැමිණීමේ අරමුණුවලින් තොරව එම රටවල ම පදිංචි වීමේ අරමුණ ද රැගෙන යයි. බොහෝදුරට එම පවුල්වල දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලබා එහි පැලපදියම් වූ පසු දෙමාපියන් පමණක් පැමිණ තම විශ්‍රාම වැටුප ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටී. ඒ අතර තම ඉතිරි දේපළ ද ඩොලර් බවට හරහා පිටරට යැවීම තම අනාගතය වෙනුවෙන් පිටරට ආයෝජනය කිරීම වඩා පහසුදායක බවට සමාජ මතය ද සඳහා රජයේ බොහෝ ප්‍රතිපත්ති උඩගෙඩි දීම ද සිදුවේ.

කෙසේ වුවද නිදහසින් පසු පාලකයන් ශ්‍රී ලංකාවේ වටිනා මානව සම්පත් රටේ සංවර්ධනය සඳහා නිසිලෙස කළමනාකරණය හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය තේරුම් නොගැනීම නිසා ශ්‍රී ලංකාව මානව සම්පත් කාන්තාරයක් බවට ක්‍රමානුකූලව පත්වෙමින් පවතී.

කළ යුතු දේ

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඉතා අවශ්‍ය ම සාධකය වන්නේ මානවය සම්පත් බව පාලකයන් තේරුම් ගැනීම ඉතාමත් ප්‍රමාද වී ඇති කාරණයක් වුවත් ඒ සඳහා අවම හෝ යොමු නොවන්නේ නම් ශ්‍රී ලංකාව ඉදිරියේ දී නොසිත ඛේදවාචදකයන්ට මුහුණ දෙනු ඇත. දේශීය නිෂ්පාදන හා සේවාවන් අඩාල වී රටේ පාලනය, සමාජය හා ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනු ඇත.

වෘත්තිකයන් රඳවා ගැනීම

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළින් හා මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ බොහෝ වෘත්තිකයන් මේ වනවිටත් රට හැරදා ගොස් ඇත. තවදුරටත් වෘත්තිකයන් රට හැර යෑම අනාගත ශෝකජනක ඉරණමකට ශ්‍රී ලංකාව තල්ලු කරනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ තවදුරටත් රැඳී සිටින වෘත්තිකයන් රඳවා ගැනීමටත්, විදේශ ගතවූ බොහෝ දෙනා නැවත ගෙන්වා ගැනීමටත් අවශ්‍ය වූ ප්‍රතිපත්ති පිළිබඳ රජය අවධානය යොමුකිරීම හා ඒ සඳහා වූ දිරි ගැන්වීම් ලබාදීම අවශ්‍ය වන මානව සම්පත් රැකගැනීමත් හා කළමනාකරණයක් වනු ඇත. “තවදුරටත් පලයල්ලා” යන මතය සහිත චක්‍රලේඛ ලෙස බදු ප්‍රතිපත්ති පිළිබඳ රජය අවධානය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ වෘත්තිය දැනුම රටට සමස්ථ ලෙස අහිමි වනු ඇත. ඔවුන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීම හෝ අසාදු ලේඛන ගතකිරීම් ආදිය අශ්වයා පැන ගිය පසු ස්ථාලය වැසීම බදු බොලඳ ක්‍රියාමාර්ග වනු ඇත. වසර 30ක් 40ක් තම ජීවිතය ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප කළ වෘත්තීයවේදියකු විශ්‍රාම ගනු ලැබූ පසු ලැබෙන සොච්චම විදේශ ගතවීමකින් ලැබෙන වරප්‍රසාද සමඟ අලගු තැබීමට වෘත්තිකයා සූදානම් නොවේ. “රැකියාව අත්හැර ගියා සේ සැලකුවත්, විශ්‍රාම වැටුප් අහිමි වුණත්, අසාදු ලේඛවයට වැටුණත් යන මිනිහා යනවා” යන මතය හා සත්‍යය රජය තේරුම් ගත යුතුය. ඔවුන් විදේශගත වන්නේ ශ්‍රී ලංකාවේ අනාගත වටිනා මානව සම්පත් සමග බවද රජයන් කල්පනා කළ යුතුවේ. අනාගත බුද්ධි හීනතාවය, අනාගත විචාරශීලී සහ නිර්මාණශීලී සමාජයක් හා ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය අනාගත මානව සම්පත් ඌණතාවය පිළිබඳ වගකිව යුතු රජයන් කල්පනා කිරීම අත්‍යවශ්‍ය වේ.

රට යවන චක්‍රලේඛ වෙනුවට රඳවා ගන්නා චක්‍රලේඛ

yfhdcbcb

රජයේ අදූරදර්ශී දේශපාලකයාගේ ලකුණු දමා ගැනීම සඳහා අවිචාර චක්‍රලේඛ මගින් රටේ මානව සම්පත් රට යැවීමේ චක්‍රලේඛවෙනුවට එම මානව සම්පත් රටේ රඳවා ගතහැකි චක්‍රලේඛ යුගයට අවශ්‍ය වේ. රජයේ නිලධාරියකු හෝ වෘත්තිකයකු විදේශ ගතවන්නේ වැඩි වශයෙන් සුදුසුකම් ලත් සේවකයන් වේ. ඔවුන් රඳවා ගැනීම හා රටේ නිෂ්පාදන ආර්ථිකයට ඔවුන් දායකකරගත හැකි චක්‍රලේඛ නිකුත් කිරීම එවැනි විකල්පයකි. වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු හෝ වසර ගණනාවක් නිවාඩු ලබාගෙන ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ සේවයට හෝ පෞද්ගලික ව්‍යවසායකත්වයට යොමු කළ හැක. ඒ සඳහා වන ඉඩ ලබාදීම හෝ දිරිගැන්වීම කළ හැක. ව්‍යවසායකත්වය හැකියාවන් හා කුසලතාවයන් සහිත රජයේ සේවකයන්ට පෞද්ගලික ව්‍යාපාර ඇරඹීම සඳහා දේශීය නිවාඩු හෝ මූල්‍ය ප්‍රතිලාභ ලබාදීම සිදුකළ හැක. ඒ මගින් රැකියා ජනනය කළ හැක. නිෂ්පාදනය වැඩි කළ හැක. රටේ සම්පත් වැඩි දියුණු කළ හැක. පුද්ගලික අංශය වැඩි දියුණු කළ හැක.

යන්න හිතෙන රටක් වෙනුවට ඉන්න හිතෙන රටක්?

ශ්‍රී ලංකාව දැනට පවතින්නේ ප්‍රබල ලෙස යන්න හිතෙන රටක් ලෙසිනි. සමාජය, ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, අනාගත අවිනිශ්චිතභාවය යන සෑම අංශයක් මෙන්ම රාජ්‍ය පාලනය ද යන්න හිතෙන රටක් නිර්මාණය කර ඇත. පිටවන්නේ වටිනා මානව සම්පත් වේ. ඒ අනුව අනෙකුත් සම්පත් අයාලේ යනු ඇත. නොදියුණු කම තවත් වැඩිවෙනු ඇත.

ඒ අනුව වගකිව යුතු රජයක් කළයුතු වන්නේ සෑම අංශය ම නියෝජනය වන පරිදි ශ්‍රී ලංකාවේ මානව සම්පත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා යොදාගත හැකි කෙටි කාලීන හා දීර්ඝ කාලීන විද්වත් සැලසුම් ජනතාවට ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා කැපවීමයි. එවැනි ප්‍රතිපත්ති නිර්මාණය සඳහා වෘත්තීමය සහයෝගිතාවය හා දායකත්වය ලබාගැනීමයි. ඒ අනුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කළ හැකිවනු ඇත. ඒ සියල්ල කළ හැකිවන්නේ දියුණු මානව සම්පත් කළමනාකරණ හා සංවර්ධන ප්‍රවේශයකින් බව තේරුම් ගැනීම හා ඒ සඳහා ප්‍රවේශ වීම රජයේ පුළුල් වගකීමකි.

ජිනසිරි දඩල්ලගේ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website