ඉරිදා, 27 අගෝස්තු 2023 10:30

අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව මට්ටු කරයි! Featured

තොරතුරු දැනගැනීමේ පනතෙන් ඔබ්බට:

නීති සම්පාදනය සහ මූල්‍ය විනය රැකීමට වගකිවයුතු පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය අවධාරණය කරන නඩු තීන්දුවක් මෑතකදී අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම නඩු තීන්දුව අධ්‍යයනය කළ යුතුය. පාර්ලිමේන්තුව තොරතුරු වසන් කිරීමට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් ගත් අධිකරණ ක්‍රියාමාර්ගය ජනතාවගේ ජයග්‍රහණයකින් අවසන් වීම සම්බන්ධයෙන් අපට සංතෝෂ විය හැකිය. ඒ ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්කිරීමට විධායකය සහ ව්‍යවස්ථාදායකය වගකිව යුතු හෙයිනි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වෙනි සංශෝධනයේ කොටසක් ලෙස 2015 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මූලික නීතියට (1978 ව්‍යවස්ථාවට) එකතු කිරීමට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් නේස්බි සාමිවරයා (මයිකල් මොරිස්, කොන්සවේටිව් පක්ෂය) මහා බ්‍රිතාන්‍යයේ අදාළ නීතියේ (Freedom of Information Act 2000) පිහිට පැතූ බව රහසක් නොවේ.

නමුත් එතුමා එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවට හෙළිදරව් කළ පසුවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවධානය කිසිසේත් යොමු වූයේ නැත. එවකට ආණ්ඩුව එම තොරතුරු ඕනෑකමින්ම මග හැරියේය. අදටත් එම තත්ත්වයේ වෙනසක් නොමැත.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත (2016 අංක 12) 2016 ජුනි මාසයේ නීති ගත කළ අතර එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුයේ 2017 පෙබරවාරි මාසයේදීය.

නේස්බි සාමිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් කළ යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ විය. නමුත් බ්‍රිතාන්‍ය දේශපාලනඥයා කළ හෙළිදරව්වෙන් ප්‍රයෝජනයක් ගැනීමට එවකට යහපාලන ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොවීය. 19 වැනි සංශෝධනය මෙන්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වුවත් මහා බ්‍රිතාන්‍යයේ තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය හරහා ලබා ගත් ඉතාමත් වටිනා රාජ්‍යතාන්ත්‍රික තොරතුරු රට වෙනුවෙන් පාවිච්චි නොකිරීමට ආණ්ඩුව වග බලා ගත්තේය. ගෝඨාභය රාජපක්ෂ රජය ද එම තොරතුරුවලින් නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැත. අදටත් තත්ත්වය එසේය.

නේස්බි සාමිවරයා අදාළ ක්‍රියාවලිය 2014 නොවැම්බර් මාසයේ 06 වන දින දියත් කළ අතර මහා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය කළ බාධා හේතුවෙන් ශ්‍රී ලංකා හමුදා සහ දේශපාලන නායකත්වය යුද අපරාධ සිදු නොකළ බවට ඔප්පු කිරීමට හැකි නිල තොරතුරු එම අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට බොහෝ කල් ගත විය. නේස්බි සාමිවරයාට මහා බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයට එම තොරතුරු ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2017 ඔක්තෝබර් 12 වැනි දිනය. ඒ වනවිට යහපාලන රජය ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා අදටත් ක්‍රියාත්මක ජිනීවා ක්‍රියාවලියට නතුකර හමාරය. ඒ පාවාදීම කළේ 2015 ඔක්තෝබර් 01 දිනය.

යුද සමයේ කොළඹ පිහිටි මහා කොමසාරිස් කාර්යාලයේ සේවය කළ ලුතිනන් කර්නල් ඇන්තනි ගෑෂ් 2009 ජනවාරි 1 සිට 2009 මැයි කාලය තුළ ලන්ඩනයේ විදේශ අමාත්‍යාංශයට එවූ රහස්‍ය වාර්තා අනුව අවසන් සටනේදී මරණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව කොටි ත්‍රස්තවාදීන්ද ඇතුළුව 7,000-8,000 පමණක් බවත් ඒ අනුව 40,000 සිවිල් ජනතාවක් මරා දැමූ බවට කළ චෝදනා පදනම් විරහිත බවත් නේස්බි සාමිවරයා අවධාරණය කළේය. එලෙසම දේශපාලන නායකත්වය ද්‍රවිඩ සිවිල් ජනතාව ඉලක්ක කර පහර දීමට කිසිවිටක ආරක්ෂක හමුදාවලට නියෝග නොකළ බවටද එම වාර්තා අනුව ප්‍රකාශ කළේය.

නේස්බි සාමිවරයා මහා බ්‍රිතාන්‍යයේ තොරතුරු පනත හරහා කළ මැදිහත් වීම නොවන්නට ශ්‍රී ලංකාව ලෝක අපවාදයෙන් ගලවා ගැනීමට හැකිවූ එම තොරතුරු හෙළිදරව් වන්නේ නැත. බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියාමාර්ගය තුළ එම තොරතුරු නේස්බි සාමිවරයා අතට පත්වීමට වසර තුනක් ගතවිය. අපේ රටේ අවාසනාවට 2017 ඔක්තෝබර් මාසයේ 12 වන දින කළ හෙළිදරව්ව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ රජය මෙන්ම වර්තමාන වික්‍රමසිංහ-රාජපක්ෂ රජය කටයුතු කර නැත. කරන බවක් පෙනෙන්නේ ද නැත.

ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි 19 වන දින මුලිනුපුටා දැමුවායින් පසුව ජාතීන් අතර සැබෑ සංහිඳියාව ඇති කිරීමට මූලික අඩිතාලම විය යුතු වන්නේ අවසන් සටනේදී ද්‍රවිඩ සිවිල් වැසියන් නිරපරාදේ මරා දැමුවේ නැති බවට කරුණු කාරණා සනාථ කිරීමයි.

මෙම කරුණ මේ අවස්ථාවේ සාකච්ඡා කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක වන ආකාරය සහ එම ක්‍රියාවලිය මාධ්‍යයේ ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් පර්යේෂක ආනන්ද ජයසේකර සහ වැඩ සටහන් සහකාර දිලී ජයසේකර දිවයින කැ්තෘ මණ්ඩලයට පසුගියදා කළ කරුණු දැක්වීම නිසාය. තොරතුරු දැන ගැනීමේ පනත මාධ්‍යයට පමණක් නොව රටේ ඕනෑම පුරවැසියකුට ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කිරීමේ අවස්ථාව ඇති බවත් එය මූලික අයිතියක් බවත් අවධාරණය කෙරිණි. තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජනතාව වඩාත් සංවේදී කිරීමට ඇති අවශ්‍යතාවය පෙන්වා දුන් අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය පැහැදිලි කෙරිණි. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නියෝජනය එම කණ්ඩායමට වැඩසටහන් සහකාර ආර්ති රවිවර්මන් (ද්‍රවිඩ අංශය) අයත් විය.

රටේ තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව අතහැර කතා කළ නොහැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ පත්කළ එම කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න (සභාපති), විශ්‍රාමික විනිසුරුවරියක් වන රෝහිනී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියනාරච්චි සහ මොහොමඩ් නහියා. කර්තෘවරුන්ගේ සංසදය එම නීතිඥවරියව පළමුවන කොමිසමට (2016-2021) යෝජනා කළ අතර නීතිඥ සංගමය 2021 ඔක්තෝබර් පත්කළ දෙවන කොමිසමට යෝජනා කළේය.

පාර්ලිමේන්තුවේ පුදුමාකාර හැසිරීම

තොරතුරු දැන ගැනීමේ පනතක් රටේ මූලික නීතියට එකතු කිරීම සම්බන්ධයෙන් පළමුවරට සාකච්ඡාවට ලක් වූයේ ධර්මසිරි සේනානායක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ සමයේ ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කරන විටදීය. ඒ 1994 දීය. එදා පටන් තොරතුරු දැන ගැනීමේ පනතක අවශ්‍යතාවය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අදහස් පළ කළත් එය නීතියක් බවට පත්කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ (2005-2014) තොරතුරු දැන
ගැනීමේ පනතක් ගෙන ඒමට ආණ්ඩුව විරුද්ධ විය. එම තත්ත්වය යටතේ තොරතුරු දැන ගැනීමේ පනත හඳුන්වාදීම යහපාලන කණ්ඩායමේ දේශපාලන පොරොන්දුවක් විය. එම පනත සම්මත වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයෙනි. එසේනම් පාර්ලිමේන්තුව එම නීතිය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙළීම සම්බන්ධයෙන් අදටත් පැහැදිලි කිරීමක් ලැබී නැත. ඒ අවස්ථාවේදී බලයේ සිටියේ ද එම නීතිය ගෙන ඒමට නායකත්වය දුන් එජාපයයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නියෝජනය කළ කණ්ඩායමේ කරුණු දැක්වීම අතරේ මෙම ලියුම්කරු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව සම්මත කළ තොරතුරු දැන ගැනීමේ පනතට පටහැනිව පාර්ලිමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අයිතිය සුරැකීමට වගකිවයුතු සහ වගවියයුතු ආයතන අවධානය යොමු කළ යුතු බවයි.

මීට පෙර රාවය පුවත්පතේ මාධ්‍යවේදියකු සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ (ශ්‍රී ලංකා) සේවය කර ඇති ආනන්ද ජයසේකර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළේය. එය පුරවැසියාගේ පනතක් ලෙස අවධාරණය කළ ජයසේකර පෙන්වා දුන්නේ මහජනතාවගේ මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුව මෙම පනතට යටත් වන බවයි. ”පාර්ලිමේන්තුව මුළුමනින්ම නඩත්තු කරන්නේ මහජනතාවගේ මුදල්වලින්,” බව පැවසූ ජයසේකර අවධාරණය කළේ ඒ අනුව සමස්ත පාර්ලිමේන්තුවම මෙම පනතට අනුකූලව කටයුතු කිරීමට බැඳී සිටින බවයි. “මහජන නියෝජිතයින්ව මුළුමනින්ම නඩත්තු කරන්නේ මහජනතාව. එනිසා මහජන නියෝජිතයින්ගේ කටයුතු සම්බන්ධයෙන් ද පනත යටතේ පුරවැසියෙක් ලෙස අපිට අයිතියක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට. ඒක කාටවත් අහිමි කිරීමට නොහැකි අයිතියක්. මේක මූලික අයිතියක්. කාටවත් අභියෝගයට ලක්කිරීමට බැහැ.”

මාධ්‍යවේදී චාමර සම්පත් 2018 ජුනි මාසයේදී යහපාලන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වසරේ වත්කම් සහ බැරකම් ඉල්ලා ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රය අදාළ නිතිය සම්මත කළ පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කළේය. ඊට අමතරව 2010 සිට 2018 ජුනි මාසය දක්වා මන්ත්‍රීවරුන් භාර දී තිබූ වත්කම් සහ බැරකම් ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය. එම ඉල්ලීම කරන අවස්ථාවේ චාමර සම්පත් විජය පුවත්පත් සමාගමේ ‘අද’ පුවත්පතේ සේවය කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට එම මාධ්‍යවේදියා පාර්ලිමේන්තුවට එරෙහිව පැමිණිලි කිරීමෙන් පසුව එවකට මහා ලේකම් ධම්මික දසනායකට අදාළ තොරතුරු නිකුත් කිරීමට දුන් උපදෙස් ඔහු නොසලකා හැරියේය. එවකට කථානායක කරු ජයසූරියගේ ආශිර්වාදය පිට අභියාචනාධිකරණයට කොමිෂන් සභාවට එරෙහිව පැමිණිලි කළේය. පසුව කථානායකවරයාට ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වුවත් පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් ඊට විරුද්ධ විය. යහපාලන කථානායකවරයාට නිලධාරීන්ට නියෝගයක් දීමට ශක්තියක් නොමැතිවීම පුදුමයට හේතුවකි.

අභියාචනාධිකරණය 2023 පෙබරවාරි අග (පළමු ඉල්ලීම කර වසර 5 කට පසුව) පාර්ලිමේන්තුවට නියෝග කළේ මාධ්‍යවේදියා ඉල්ලූ තොරතුරු ඔහුට ලබා දෙන ලෙසයි. කුමන පක්ෂය බලයේ සිටියත් පාර්ලිමේන්තුව වගකීම් විරහිතව සහ අත්තනෝමතිකව කටයුතු කරන බවට මීට වැඩි සාක්ෂියක් තිබිය නොහැක. නමුත් අභියාචනාධිකරණය තීන්දුව දෙන අවස්ථාවේදී එම තොරතුරුවල වටිනාකම සහ අවශ්‍යතාවය සාපේක්ෂව අඩුවී තිබූ බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. එම තීන්දුව ලැබෙන විට චාමර සම්පත් ඉරිදා ලංකාදීපයේ මාධ්‍යවේදියෙකි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු දැනගැනීමේ පනතට අදාළව විශේෂ ‘ආරක්ෂාවක්’ නොමැති බව අභියාචනාධිකරණය අවධාරණය කර ඇත. එම තීන්දුව දුන් සම්පත් බී. අබේකෝන් සහ පී. කුමාර රත්නම් විනිසුරුවරුන්ට මහජන ගෞරවය හිමි විය යුතු නොවේද?

වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධන ද මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුය. චාමර සම්පත් තම ඉල්ලීම කරන අවස්ථාවේදී එතුමා යහපාලන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ 2020 අගෝස්තු මාසයේ කථානායක ධුරයට පත්වූ මහින්ද යාපා අබේවර්ධන ද මෙම ගැටලුව නිරාකරණය කිරීමට මැදිහත් නොවීය. යහපාලන කථානායක කරු ජයසූරිය ලෝකයේ හොඳම පාර්ලිමේන්තු කීපයෙන් එකක් ලෙස හැඳින්වූ පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය මෙයයි.

තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිසිදු රටක එම රටේ පාර්ලිමේන්තුව විසින් අදාළ නීතිය අධිකරණයේ අභියෝගයට ලක්කළ අවස්ථාවක් තිබිය නොහැක. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අවනීතිය රජකරන බව සක්සුදක් සේ පැහැදිලිය. නැතහොත් යම් අතපසුවීමකින් අදාළ පනත යටතේ පාර්ලිමේන්තුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළත්, එදා කථානායකවරයාට මහලේකම්වරයා අභියාචනාධිකරණයට යෑම වැළැක්වීමට තිබිණි. වසර පහක් තිස්සේ මෙම නඩුව ඇසීම තුළ ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට පාර්ලිමේන්තුව ජනතාවට වගවිය යුතු බව අමතක බවයි.

නීතිය ක්‍රියාත්මක නොවන රටක්

තොරතුරු දැන ගැනීමේ නීතිය 2017 සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් දේශපාලන සහ පරිපාලන ව්‍යුහය රටට සහ ජනතාවට වගකිවයුතු ලෙස ක්‍රියාත්මක නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අදාළ කොමිෂන් සභාව මෑතකදී තොරතුරු දැන ගැනීමේ පනතට අනුකූලව ක්‍රියාත්මක නොවූ රාජ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට පිවිසි ඇත. නමුත් තත්ත්වය යහපත් නොවේ. පාර්ලිමේන්තු කොමිටි ක්‍රමය තුළ හෙළිදරව් වූ දූෂණ, වංචා, අක්‍රමිකතා සහ අදහාගත නොහැකි පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් අද වනතුරු නිසි ලෙස ක්‍රියා කිරීමට රජය (කවුරු බලයේ සිටියත්) ඕනෑකමින්ම මගහැර ඇත. ඇත්තවශයෙන්ම කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට එරෙහිව අධිකරණයට යෑමට තිබිණි.

නව දූෂණ විරෝධී පනත වර්තමාන පාර්ලිමේන්තුව සම්මත කිරීමත් සමග මැති, ඇමැතිවරු සහ ජනාධිපතිවරයා ද තම වත්කම් සහ බැරකම් ප්‍රකාශන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව භාර දිය යුතුව ඇත.

චාමර සම්පත් උසාවි ක්‍රියාදාමයක් තුළ ලබාගත් තොරතුරු අවධාරණය කළේ මහජන නියෝජිතයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශන ලබා දීම නිසියාකාරව කර නොමැති බවයි. එම මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා ගෙන නොමැත. තිත්ත ඇත්ත එයයි. අවසන් ජනාධිපතිවරණය පැවැත්වූ 2019 වසරට පසු වසරේ මහජන නියෝජිතයින් 177 දෙනෙකු තම වත්කම් සහ බැරකම් ප්‍රකාශන භාර දී නැත. ඇත්තවශයෙන්ම වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙම තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website