බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:36

පාපන්දු සභාපති අපේක්ෂක දක්ෂිත ඇතුළු 5කගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි Featured

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඇතුළු එම පාර්ශ්වයේ 5 දෙනෙකුගේ නාමයෝජනා පාපන්දු නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කර ඇත.

දක්ෂිත මහතාට සහය දක්වමින් නිලවරණය සඳහා ඉදිරිපත් වූ ඉතිරි නාමයෝජනා 08 නිලවරණ කමිටුව අනුමත කර ඇත.

පාපන්දු නිලවරණය සඳහා හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ සභාපති අපේක්ෂකත්වයෙන් යුතුව ඒකාබද්ධ සංධානය නිලවරණයට එක් පාර්ශවයක් ලෙස නාමයෝජනා භාර දුන් අතර දක්ෂිත සුමතිපාල මහතාගේ සභාපති අපේක්ෂකත්වයෙන් යුතුව අනෙක් පාර්ශවයෙන් නාමයෝජනා භාර දුන්නේය.

කෙසේ වුවද සුමතිපාල මහතාගේ මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උප සභාපති තනතුරට නාමයෝජනා දුන් ටී. එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ නාම යෝජනා නිලවරණ කමිටුව මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

අනුබද්ධිත පාපන්දු ලීගවල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති වීම හේතුවෙන් සභාපති අපේක්ෂක දක්ෂිත සුමතිපාල මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වූ බවට වාර්තා වේ.

කෙසේ වුවද දක්ෂිත මහතාගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමාර් මහතා නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමි වේ.

නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු කටයුතු කරති. ලබන මස 29 වැනිදා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වේ.


කුෂාන් සුබසිංහ

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website