බදාදා, 15 පෙබරවාරි 2023 21:00

පාර්ලිමේන්තුව වහා කැදවන්නැයි මන්ත‍්‍රීන් රැසක් අගමැතිගෙන් ඉල්ලයි.. Featured

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල්දැමීමත්, පළාත් පාලන මැතිවරණයද කල් දැමීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින තත්ත්වයක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහ කථානායකවරයාගේ විශේෂ අවධානය යොමුකරන ලෙස ඉල්ලා නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන 35කට ආසන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇත.

විශේෂ අවධානය සඳහා එම ලිපියෙහි පිටපත් කථානායකවරයා වෙත මෙන්ම,පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්,දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙතද යොමුකර තිබේ.

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය.
ගරු අග්‍රාමාත්‍යතුමනි

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම

ජාතික මැතිවරණයක් වූ පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නියමිතව තිබූ දිනය වූ අද (පෙබරවාරි 15) දින එය නිකුත් නොකොට දින නියමයක් නොමැතිව කල් දැමීම සඳහා ගෙන ඇති තීරණය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී බව සඳහා බරපතල තර්ජනයක් මතු කොට තිබේ.

අදාළ පත්‍රිකා මුද්‍රණයට නියමිත මුදල් ලබා දීම මහා භාණ්ඩාගාරය විසින් පැහැර හැරීමත් එම තීරණය මත පදනම්ව මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීමත් මෙම දින රහිත කල් දැමීමට හේතුව බව මැතිවරණ කොමිසමේ නිගමනය බව මාධ්‍ය වාර්තා විසින් තහවුරු කොට තිබේ.

මෙම තීරණය විසින් උද්ගත කොට ඇති පරිසරය, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන රට තුළ මෙන්ම අන්තර්ජාතිකව ද අහිතකර බව විශයභාර අමාත්‍යවරයා වශයෙන් ද පුරවැසියෙකු වශයෙන් ද ඔබතුමා මැනවින් තේරුම් ගනු නිසැකය.

මෙම අසාමාන්‍ය වූ ද ප්‍රජාතන්ත්‍රවිරෝධි වූ ද තත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස මෙන්ම උත්තරීතර ව්‍යවස්ථාදායකයේ මහජන නියෝජිතයින් ලෙස අප වෙත පැවරී ඇති අනම්‍ය වගකීමකි.

එබැවින් එකී අරමුණ පෙරදැරිව ස්ථාවර නියෝග 16 යටතේ වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය සහ එය ඉටු කිරීම සඳහා කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් සහ ගරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටිමු.

දැනට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 21 දිනදීය. එනම් පලාත් පාලන ඡන්දයට අදාළ තැපැල් ඡන්දය ක්‍රියාත්මක වීමට නියමිත දිනයේය. එම තැපැල් ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතව ඇති පරිසරයක මහජන නියෝජිතයින් ලෙස අපි අපගේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් අග්‍ර ප්‍රමුකත්වය ලබා දිය යුතු යැයි දැඩිව විශ්වාස කරන බැවින් නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් ලෙස උක්ත යෝජනාව ඔබ තුමාගේ ද ගරු කථානායකතුමාගේ ද කඩිනම් අවධානයට හා තීරණය සඳහා මෙලෙස යොමු කරන්නෙමු.

ස්තුතියි

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website