බදාදා, 06 සැප්තැම්බර් 2023 09:48

යළි විදුලි ගාස්තු 56%කින් නග්ගන්න අනුමැතිය ඉල්ලලා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික Featured

විදුලි ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න

විදුලි ගාස්තු සියයට 56කින් යළිත් වහා වැඩි කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ ( 5 දා) පැවසීය.

මෙය අයි.එම්.එෆ්. කොන්දේසි ඉටුකිරීමට විදුලි පාරිභෝගිකයන් බිල්ලට දීමක් යැයි ද හෙතෙම කීවේය. මීරිගම විජය රජදහනේ ඊයේ ( 5දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.

සංජීව ධම්මික මහතා මෙසේ ද කීවේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා සභාවේ අනුමැතිය සඳහා මේ වන විටත් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අසාධාරණ ගාස්තු වැඩිකිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලා සිටිනවා.

2022 අගෝස්තු සිට මේ දක්වා ගාස්තු සංශෝධන 3ක් සිදු කර තිබෙනවා. යෝජිත ගාස්තු ඉහළ දැමීම සිදු කළහොත් වසරක කාලයකදී විදුලි ගාස්තුව සියයට 200කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑමක් වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යවරයාට හිතෙන අවස්ථාවලදී විදුලි ගාස්තු වැඩි කිරීමට නෛතික බලයක් නැහැ. අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව වසරක් තුළ විදුලි ගාස්තු සංශෝධනය කළ හැක්කේ අවස්ථා දෙකකදී පමණයි. මේ වන විට මේ වසරේ විදුලි ගාස්තු සංශෝධන දෙකම ක්‍රියාවට නගා අවසානයි. එසේ හෙයින් හදිසි විදුලි ගාස්තු වැඩිකිරීමක් සඳහා යෝජනා කිරීමට පවා ලංකා විදුලිබල මණ්ඩලයට හෝ අමාත්‍යවරයාට බලයක් නැහැ. මෙවැනි අනීතික ගාස්තු වැඩිකිරීම් සඳහා අනුමැතිය ලබාදීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලයක් නැහැ. මෙම අසාධාරණ ගාස්තු ඉහළ දැමීමට උත්සාහ කිරීම පරාජය කිරීම සඳහා හැටනව ලක්ෂයක් වන විදුලි පාරිභෝගිකයින් පෙළ ගස්වනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හරහා අමත්‍යවරයාට හිතවත් ඉන්ධන සමාගම්වලට උපරිම ලාභ ලබාදෙමින් විදුලි ගාස්තු වැඩිකර ඒ ලාභ දෙගුණ තෙගුණ කිරීමට ඉඩකඩ ලබා දී තිබෙනවා. මේ වන විට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව පුද්ගලික අංශයෙන් හදිසි විදුලිය මිලදී ගන්නවා. ඉන්ධන මිල ඉහළ යන විට මෙම බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා මිලද ඉහළ යනවා. අසාධාරණ ඉන්ධන මිල පිළිබඳ නිසි විගණනයක් කිරීම විගණකාධිපති විසින් පැහැර හැරලා. පසුගිය වසරේ කෝප් කමිටුවේදී ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ අවධානය යොමු කර තිබුණද වසරක කාලයක් ගත වී ඇතත් ඒ පිළිබඳ නිසි විගණනයක් කර නැහැ. ඉන්ධන ආනයන වියදම් හා මිල නියම කිරීම පිළිබඳ ස්වාධීන විගණනයක් සඳහා කෝප් කමිටුව විසින් නියෝගයක් දිය යුතු ය. එසේ නොවුණහොත් පාරිභෝගිකයන් සුරාකෑම තව තවත් දරුණු වෙනවා.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයාට ඉන්ධන මිල වගේ ඕන ඕන වෙලාවට විදුලි බිලත් ඉහල දමන්නට හැකි ආකාරයට පනත සංශෝධනය කිරීමට ඇමැතිවරයා උත්සහා ගන්නවා. එම පනත පරාජය කිරීම සදහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ව ක්‍රියා කළ යුතුයි.

විදුලි බල අමාත්‍යංශයේ නාස්තිකාර වියදම්වල බර ද විදුලි පාරිභෝගිකයා මත පටවාලා. මේ වන විට විදුලිබල අමාත්‍යාවරයා විසින් උපදේශකවරයෙකු පත් කරගෙන ඇති අතර ඔහුගේ වැටුප් ගෙවනු ලබන්නේ ඩොලර්වලින්. වත්මන් විදුලි බල ප්‍රතිසංස්කරණ වැඩසටහන අවභාවිත කරන්නත් ඇමැතිවරයා ක්‍රියා කරනවා. විදුලිබල ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අපි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධ හිරිපිටියගේ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website