බදාදා, 06 සැප්තැම්බර් 2023 10:00

ශ්‍රීලනිප මහලේකම් ඉවතට Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (05) රාත්‍රී තීරණය කර ඇතැයි වාර්තාවේ.

 ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි 15 වන වගන්තියේ පක්ෂ සභාපතිවරයා වශයෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 15 වන වගන්තියෙ i (ඇ) යටතේ ඔබගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (05) දින සිට තහනම් කරනු ලබන බවත්, ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා වශයෙන් තවදුරටත් වැඩ කිරීමට ද ඔබට හැකියාවක් නොමැතිබවත් දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ මැදියම් රාත්‍රීයේදී ම ලිඛිත දැනුම්දීමක් කර ඇත.

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්තාවේ 15 වන වගන්තියේ i (ඇ) යටතේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඉදිරි දින 14 ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය එවීමට කටයුතු කරනු ලබන බවත් එම ලිපියේ සඳහන් වේ.

තවද ශ්‍රීලනි පක්ෂ ව්‍යවස්ථාවේ 16 වන වගන්තියේ දේශපාලන මණ්ඩලයේ ix වන ඡේදය යටතේ සභාපති සහ දේශපාලන මණ්ඩලයට පැවරී ඇති බලතල ද මේ අනුව ක්‍රියාත්මක වන බව දැනුම්දී ඇත.

 htutunnn

මෛත්‍රීපාලට බරපතළ චෝදනා 7ක්

 

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත්කිරීමට රහසිගතව කුමන්ත්‍රණය කිරීම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත එල්ලවී ඇති ප්‍රධාන චෝදනාව බව පැවසේ.

එසේම පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය අවාසනාවන්ත ලෙස අගාධයට ඇද දැමූ බවට චෝදනා කරමින් ශ්‍රීලනිප මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන ට රහස්‍ය ලිපියක් යොමුකර තිබීම මෙසේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ආසන්නම සිද්ධිය බව පැවසේ.

මෙම රහස්‍ය ලිපිය මගින් හිටපු ජනාධිපතිවරයාට බරපතළ චෝදනා 7ක් එල්ල කර තිබිණ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජේලාල් ද සිල්වා, උප සභාපතිවරුන් වන දුෂ්මන්ත මිත්‍රපාල සහ අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් මෙම චෝදනා පත්‍රයට අත්සන් තබා තිබිණ.

එම ලිපිය මගින් පක්ෂ නායකයාට එරෙහිව නගා ඇති චෝදනා මෙසේය.

1) 2015 ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කොට ස්ථිර කර තිබියදී පක්ෂයෙන් ඉවත්ව පක්ෂ අපේක්ෂකයා පරාජයට පත්කිරීමට පියවර ගැනීම,

2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සදා පසමිතුරු එපාපය සමඟ සන්ධාන ගතවී පොහොට්ටුව පක්ෂය නිර්මාණයට පාර කපා දීම,

3) ශ්‍රීලනිප මන්ත්‍රීන් පොහොට්ටුව වෙනුවෙන් දේශපාලනය කරද්දී ඔවුනට එරෙහිව විනය පියවර නොගෙන පොහොට්ටුව ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසීම,

4) තමන් පත් කරගත් අගමැතිවරයා සමඟ සාමූහිකව වැඩ නොකරමින් ජාතික ආරක්ෂක මණ්ඩලයට පවා නොකැඳවීමත් ඒ සමඟ හටගත් පාස්කු ප්‍රහාරයේ වරද ජනාධිපතිගේ හිස මත කඩා වැටීමට හේතුවීමත් නිසා කතෝලික ජනතාව පක්ෂයෙන් ඈත්වීම,

5) ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට එරෙහිව විනය පියවර නොගෙන විධායක සභාවට ආරාධනා කිරීම තුළින් පක්ෂ විනය කඩ කරන්නන් දිරිමත් කිරීම,

6) ශ්‍රීලනිපය ප්‍රධානව දේශපාලන සන්ධානයක් පිහිටුවා දින කිහිපයක් තුළ හවුල්කාර පක්ෂ නායකයන්ට වාග් ප්‍රහාර එල්ල කර හිතවත් පක්ෂ අමනාප කර ගැනීම,

7) සමාජය තුළ දැඩි ආණ්ඩු විරෝධයක් හටගෙන තිබියදී ශ්‍රීලනිපය ආණ්ඩුව දෙසට තල්ලු කිරීමෙන් පක්ෂය තවදුරටත් ජනතාවගෙන් ඈත් කිරීමට ක්‍රියා කිරීම යන චෝදනා 7 මෙලෙස පක්ෂ නායකයාට එල්ල කර තිබේ.

මෙම චෝදනා සහිත ලිපිය පක්ෂ නායකයාට භාර දී දැනට දින කිහිපයක් ගතවී ඇතත් පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

theleader.lk

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website