සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 08:10

කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් කාන්තා ඇටසැකිලි කොටස් හමුවෙයි Featured

කාන්තා කොටි ඇඳුම් කෑලිත් ලැබෙයි

මියගියේ කෙසේදැයි තාම හරියට කියන්න බෑ


විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම්වලින් කාන්තාවකගේ ඇට සැකිල්ලක කොටසක් හා තවත් මිනිස් ඇට සැකිලි කොටස්, තුවක්කු කැබලි හා කොටි සාමාජිකාවන්ගේ බවට සැකකෙරෙන නිල ඇඳුම්වල කොටස් කීපයක් 7 දා සවස හමු වී තිබේ.

මුලතිව් දිස්ත්‍රික් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසබාපති වාසුදේව මහතා පැවසුවේ මෙම ඇටසැකිලි කොටස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන තුරු ඔවුන් මියගොස් ඇත්තේ කෙසේදැයි යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම ඇටසැකිලි කොටස් හා හමු වූ ද්‍රව්‍ය ගැන විශ්ලේෂණයක් සිදු කොට බැලීමේදී මේ පිරිස මියගොස් ඇත්තේ වෙඩි වැදීම්වලින් බවට සැක කළ හැකි සාධක බොහොමයක් ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මෙතෙක් ගොඩගත් ඇටසැකිලිවලින් පූර්ණ සැකිල්ලක් හමු වී නැති නිසා දැනට මේ ස්ථානයෙන් පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක ඇට සැකිලි කොටස් හමු වී ඇත්දැයි ප්‍රකාශ කළ නොහැකි බව ද වෛද්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මෙම සමූහ මිනී වළේ තවත් විශාල සංඛ්‍යාවක් මිනිස් ඇටසැකිලි ඇති බවට තොරතුරු හා ලක්ෂණ පහල වී ඇති බව කී කනකසබාපති වාසුදේව මහතා සමූහ මිනී වළේ කැණීම් කටයුතු ප්‍රදේශයේ පවත්නා පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් අඛණ්ඩව සිදු කරගෙන යන බව ද සඳහන් කළේය.

මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ නිරීක්ෂණය මත පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනවන්, නීතිඥ රනිතා ඥානරාසා, වී. කේ. නිරංජන්, කෝකිලායි පොලිස් ස්ථාන භාර නිලධාරී ඇතුළු පිරිසක් මේ කැණීම් සිදුවන ස්ථානයට පැමිණ සිටියහ.


දිනසේන රතුගමගේ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website