බදාදා, 13 සැප්තැම්බර් 2023 13:08

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා – ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජිනීවා කවුන්සිලයට කියයි Featured

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකාව පෙරේදා (11 දා) ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති හිමාලි අරුණතිලක මහත්මිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන 51/1 යෝජනාවට අදාළ සාක්‍ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණය පිළිනොගන්නා බවත්, ඊට කිසිදු සහායක් නොදෙන බවත්, 46/1 සහ 51/1 යෝජනා ද ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන අතර ලිඛිත වාර්තාව ද ප්‍රතික්‍ෂේප කරන බව ඇය කවුන්සිලය හමුවේ අවධාරණය කළාය.

ජිනීවා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදු අල් නෂීෆ් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සඳහන් කළාය.

අදාළ ලිඛිත වාර්තාවේ අන්තර්ගතයෙන් ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පෙන්නුම් නොකරන බව ද මූල්‍ය සහ සමාජ ස්ථාවරභාවය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙන බව ද ඇය සඳහන් කළාය.

මෙරට නව රජයේ දැක්ම සහ සංහිඳියාව සඳහා ගන්නා පියවර පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ද, නැවත පදිංචි කරවීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධව එහිදී අවධානය යොමු කළ බව ද ඇය මානව හිමිකම් කවුන්සිලය හමුවේ පැවසුවාය.

සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවූවේ මෙම උත්සාහයන් සාර්ථක කර ගැනීමට බව පැවසූ තානාපතිනිය, මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට දුන් ප්‍රසිද්ධිය මෙන්ම ශ්‍රී ලංකා රජයේ මෙම ප්‍රතිචාරයටත් ප්‍රසිද්ධියක් ලබාදෙන ලෙස ද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website