සෙනසුරාදා, 16 සැප්තැම්බර් 2023 10:02

පීඩාකාරී හා පක්‍ෂග්‍රාහී වගවීමේ ප්‍රතිපත්තියට මුල්වූ යෝජනා අපි බැහැර කරමු Featured

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත උතුමාණෝ හිමාලි අරුණතිලක විසින් මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ සම්පූර්ණ ප්‍රකාශය

ප්‍රථමයෙන්ම, ‘වගවීමේ ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට තුඩු දුන් 46/1 සහ 51/1 යෝජනා ශ්‍රී ලංකා රජය විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරන ලද බව යළි අවධාරණය කරමි. එහි ලිඛිත යාවත්කාලීන කිරීම, නිගමන සහ නිර්දේශ ද අපි ප්‍රතික්ෂේප කරන්නෙමු.

පෙර නොවූ විරූ ලෙස ස්ථාපිත වූ විධිමත් නොවන සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණය එහි පිළිගත නොහැකි අන්තර්ගතය සමඟ මූලික වශයෙන් එකඟ නොවීම තුළ බහුතර සාමාජික රටවල් මෙම යෝජනාවලට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව හෝ විරුද්ධ වූ බව අපි සිහිපත් කරමු. එය එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීම් යෝජනා 60/251 මගින් සාමාජික රටවල් කවුන්සිලයට ලබා දී ඇති වරම ඉක්මවා යන බව අපි නැවත අවධාරණය කරමු.

සභාපතිතුමනි,

මෙම යෝජනා පීඩාකාරී සහ පක්ෂග්‍රාහී යෝජනා වේ. මානව හිමිකම් සඳහා කිසිසේත් අදාළ නොවන හේතුන් මත සහ අභ්‍යන්තර දේශපාලන ඡන්ද පදනම මත පදනම් වන රටවල් අතළොස්සක් විසින් පමණක් එය අනුමත කර ඇත.

මෙම යෝජනාවේ සැකයට තුඩු දෙන වරමක් ලබා දී ඇති අයවැය ඇඟවුම් පිළිබඳව බොහෝ රටවල් දැනටමත් බරපතළ කනස්සල්ලක් මතු කර ඇත. මෙය කවුන්සිලයේ සහ එහි සාමාජිකයන්ගේ සම්පත් ඵලදායි නොවන සහ අකාර්යක්ෂම ක්‍රමයක් බව ශ්‍රී ලංකාව නැවත නැවතත් පෙන්වා දී ඇත. ඉහත සඳහන් කළ සියලු හේතු නිසා ශ්‍රී ලංකාව කිසිසේත් ඊට සහයෝගය නොදක්වයි.

කෙසේ වෙතත්, බහුපාර්ශ්වික රාමුවේ ක්‍රියාකාරී සහභාගිවන්නකු ලෙස සහ ජාත්‍යන්තර ප්‍රජාව සහ කවුන්සිලය සමඟ පවතින අපගේ සමීප සම්බන්ධතාවයට අනුකූලව, කවුන්සිලයේ සාවර්ත්‍රික නියත කාල සමාලෝචන (UPR) ක්‍රියාවලිය වැනි අපගේ ජනතාවට එලදායක වන එහි අනෙකුත් ක්ෂේත්‍රවල ඵලදායී හා ප්‍රයෝජනවත් වූ යාන්ත්‍රණයන් සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව හා සාධනීය ලෙස සම්බන්ධ වනු ඇත.

සභාපතිතුමනි,

ලිඛිතව දක්වන ලද යාවත්කාලීන කිරීමෙහි අන්තර්ගතය ශ්‍රී ලංකාවේ වත්මන් සැබෑ වාතාවරණය පිළිබිඹු නොකරයි.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික, සමාජීය සහ මූල්‍ය ස්ථාවරත්වය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට හා පිළිගැනීමට ලක්ව ඇත. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය ඇති සහ විශේෂඥ දැනුම සහිත අය ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රකෘතිමත්භාවය පිළිබඳව විශ්වාසයෙන් පසුවෙති.

ශ්‍රී ලංකාව සහ එහි ආයතන විසින් පසුගිය වසරේ පෙන්නුම් කරන ලද ප්‍රජාතන්ත්‍රික ශක්තිමත්භාවය මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද නොසලකා හැරීමට තීරණය කර තිබීම කනගාටුවට කරුණකි.

සභාපතිතුමනි,

ආර්ථික, මූල්‍ය, මැතිවරණ, දේශපාලන, දේශීය, අය-වැය සහ සංවර්ධන ප්‍රතිපත්තිවල සියලු අංශ පිළිබඳව පුළුල් හා බාධාකාරී අදහස් දැක්වීමේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙහි නිරන්තරයෙන් පුළුල් වන වරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය දැඩි නොසතුට යළි අවධාරණය කරයි.

ඕනෑම ස්වෛරී රටකට අත්‍යවශ්‍යයෙන්ම දේශීය වන සහ මෙම කවුන්සිලයේ රාමුවෙන් බැහැර වන හා ඵලදායී නොවන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි දැඩි ලෙස විරුද්ධ වන්නෙමු.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සිය සරල විශ්ලේෂණයේ දී, ආහාර, සෞඛ්‍ය සහ පෝෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝග පිළිබඳව ද සඳහන් කරන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන හුදකලා සංසිද්ධියක් ලෙසිනි. මෙයට සමගාමීව, නිව්යෝර්ක්හි දී, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් වත්මන් ගෝලීය සන්දර්භය හේතුවෙන් පැන නගින ණය සහ මූල්‍ය දුෂ්කරතාවයෙන් පෙළෙන සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් සමඟ සහයෝගීව, තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී සියලු සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන දරුණු පසුබෑම් සහ අභියෝග සානුකම්පිතව ඉස්මතු කරන ලදී.

ඉලක්කගත සම්බාධක පිළිබඳ යෝජනා ඇතුළුව සියලුම නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට සහ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්මවලට පටහැනි මෙන්ම වැරදි සහ තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම් වූ බැවිනි.

සභාපතිතුමනි,

අපගේ දේශීය ආයතන හරහා මානව හිමිකම් පිළිබඳ ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටින අතර පහත සඳහන් පරිදි සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත:

රජයේ දැක්ම සහ ගෙන ඇති ප්‍රතිසන්ධාන ප්‍රයත්නවල ප්‍රගතිය, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු විසඳීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, උතුරු – නැගෙනහිර සංවර්ධන සැලැස්ම සහ 13 වැනි සංශෝධනය පිළිබඳ 2023 අගෝස්තු 09 වැනි දින ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී. මෙම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා දේශපාලන සහයෝගය තහවුරු කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළු කැඳවා ඇත.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය හා ක්‍රියාකාරී ස්වාධීනත්වය ශක්තිමත් කර ඇත.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නීති කෙටුම්පත් කිරීමට කැපවී සිටින අතරම, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා දිගටම පවතී.

ස්වාධීන දේශීය යාන්ත්‍රණයන්, වෙනත් ආකාරයකින්, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), සහ ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) මගින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර ඒවා පිළිබඳ විස්තර, වාර්තාව සඳහා අපගේ ලිඛිත නිරීක්ෂණ තුළින් ලබා දී ඇත.

සත්‍ය හා ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. යෝජිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය දශක තුනක කුරිරු ගැටුම්වලින් පසු සාක්ෂාත් කර ගත් සාමය සුරක්ෂිත කිරීමේ අර්ථවත් මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇත. යෝජිත යාන්ත්‍රණය පිළිබඳව සිවිල් සමාජ ඇතුළු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් පවතී.

සංවාද සහ අවබෝධතා තුළින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් සමඟ රජයේ මැදිහත්වීමේ කේන්ද්‍රස්ථානය ලෙස විදේශයන්හි ශ්‍රී ලාංකේය කටයුතු පිළිබඳ කාර්යාලය ක්‍රියා කරයි.

සභාපතිතුමනි,

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදු කරන ලද ලිඛිත යාවත්කාලීන කිරීම්වල බරපතළ විකෘති කිරීම් ආවරණය කිරීමට අදහස් කරන්නා වූ සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය වැරදි ලෙස නිරූපණය කෙරෙන මෙම ලිඛිත යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අපි අපගේ නිරීක්ෂණ සවිස්තරාත්මකව ලබා දී ඇත්තෙමු. මෙම ප්‍රතිචාරයට මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සඳහා දෙනු ලබන්නා වූ අවධානය හා සමාන අවධානයක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳ අපගේ ස්ථාවරය කුමක් වුවද, ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයකු ලෙස, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති මෙන්ම ස්වෙච්ඡාවෙන් භාර ගනු ලබන ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමඟ ඵලදායී ලෙස අඛණ්ඩව සම්බන්ධ වනු ඇත.

මෙම දුෂ්කර අවස්ථාවේ මොරොක්කෝවේ ජනතාව වෙත ශ්‍රී ලංකාවේ සංවේගය දක්වමින් ප්‍රකාශය අවසන් කිරීමට කැමැත්තෙමි.

 

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website