විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ ඔහු ගාල්ල නගරයේ නිමි ඇඳුම් වෙළෙඳසලක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.
ගාල්ල නගරයේ පිහිටි තම නිමි ඇඳුම් වෙළෙඳසල වසා දමා රාත්‍රියේ මෝටර් රථයෙන් ගාල්ල පහළ ඩික්සන් පාර ඔස්සේ සිය නිවසට ගමන් කරමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
යතුරුපැදියක නැගී මෝටර් රථය හඹා ආ ඝාතකයන් මෙහිදී ටී පනස් හය ගිනි අවියකින් උණ්ඩ 15ක් නිකුත් කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් මෙන්ඩිස් මහතා රියැදුරු අසුනේ ම මියගොස් ඇති අතර ඝාතකයන් යතුරුපැදියෙන් ම පළා ගොස් තිබේ.
ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූවා ය.
මෙම ඝාතනය පසුපස ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ ඇති වූ ගැටුමක් හේතුවී දැයි යන සැකය මත පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව රත්ගම විදුර හා කොස්ගොඩ සුජී යන පාතාල නායකයන්ගේ කල්ලි දෙක අතර පසුගිය සති කිහිපයකට පෙර සිදු වූ වෙඩි තැබීම් සහ ඝාතන මෙම ඝාතනයටත් හේතු වී දැයි විමර්ශන නිලධාරීහු සැක පළ කරති.
කොස්ගොඩ සුජීගේ ඥාතයෙකු වන අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට මැයි මස 26 වන දා කළ වෙඩි තැබීම, රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු තරුණියක මාර්ගයෙන් සීනිගම දේවාලය අසලට ගෙන්වා පසුගිය 12 වන දා කළ වෙඩි තැබීම, කොස්ගොඩ නිවසක් ඉදිරිපිටදී ජූනි 21 වන දා කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු බව කියන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, ඉකුත් 18 වන දා රත්ගම ආදාහනාගාරය පසුපස කලපුවේ අත් පා ගැටගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීම ආදී සිදුවීම් දෙපාර්ශ්වය විසින් ඩුබායි සිට මෙහෙයවනු ලබා ඇති බවට සැක කෙරෙන අතර ගාල්ල ක්‍රිකට් සමාජයේ උපසභාපති ලලිත් වසන්ත මෙන්ඩිස් මහතා ඝාතනය එහි ආසන්නතම පළිගැනීම දැයි පොලිස් විමර්ශකයෝ සැක පළ කරති.
සිදුවීම වූ අවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇති අතර ඝාතනයට පැමිණි යතුරුපැදිකරුවන් එමගින් හඳුනාගත හැකි වනු ඇතැයි පොලිස් නිලධාරියෙක් කීය.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් මත ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කීර්ති මෙන්ඩිස්