සිකුරාදා, 29 සැප්තැම්බර් 2023 14:22

නිල්වලා-ගිං-කළු ජල මට්ටම ඉහළට: ගංවතුරක් අත ළඟ Featured

දිස්ත්‍රික්ක 6කට නායයෑමේ කහ නිවේදන

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ගංගා කීපයක ජල මට්ටම ඊයේ (28දා) තවදුරටත් ඉහළ යෑමෙන් එම දිස්ත්‍රික්ක ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම නිකුත් කළේය.

ඒ අනුව නිල්වලා, ගිං, කළු යන ගංගාවන්හි ජල මට්ටම් ඉහළ යෑමෙන් අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් මතුව තිබීම හේතුවෙන් එය සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස ප්‍රදේශවල පදිංචි මහජනතාව ගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන පදවන්නන් ගෙන් ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටී.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය ඉහළ ධාරා ප්‍රදේශ වෙත ඊයේ (28දා) වනවිටත් ඉහළ වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් පාලින්ද නුවර හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එහි ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයන්ට අනුව, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශයන්ගේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර වැලිපිටිය, දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ද ඊයේ (28දා) වරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

ගිං ගඟ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.05 දක්වා ඉහළ යෑම හේතුවෙන් බද්දේගම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ඊයේ (28දා) වනවිටත් ජලයෙන් යටව පැවැති බව, ගිං ගඟ වාරි මාර්ග ඉංජිනේරු, පියුමි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම ගිං ගඟ පහළ නිම්නයට අයත් වී වගා බිම් හා කොරටු වගාවන් රැසක් ද ජලයෙන් යටවී වගා බිම් විනාශ වී ඇතැයිද ප්‍රදේශයේ ගොවීහු පැවැසූහ.

මේ අතර දිස්ත්‍රික් හතක් සඳහා ඊයේ (28දා) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ඉන් දිස්ත්‍රික්ක 6කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය නෙළුව, ඇල්පිටිය, හම්බන්තොට දිස්ත්‍රික්කය වලස්මුල්ල, කළුතර දිස්ත්‍රික්කය අගලවත්ත, වලල්ලාවිට, කෑගල්ල දිස්ත්‍රික්කය රුවන්වැල්ල, මාතර දිස්ත්‍රික්කය මුලටියන, අතුරලිය, රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

සුජීව තත්සර, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website