බදාදා, 04 ඔක්තෝබර් 2023 09:21

ආසියා-ශාන්තිකර රටවල පරිසර අමාත්‍ය සමුළුව හෙට කොළඹදී Featured

ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී හෙට (05වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉකුත් 01 දා ආරම්භ වූ මෙම සමුළුවේ තාක්ෂණික සැසිවාර ඊයේ (03 දා) කොළඹදී අවසන් වූ අතර, ප්‍රධාන සැසිවාර දෙක අද (04 දා) සහ හෙට පවත්වා සිකුරාදා (06 දා) නිමා කිරීමට නියමිතව ඇත. කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සමුළුව මෙය බව මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය නෂීඩ් අහමඩ් මහතා පැවසීය.

කලාපයේ රටවල් 39 ක පරිසර අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් 300 කට අධික පිරිසක් මීට සහභාගී වී සිටින අතර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා එක්ව පරිසර අමාත්‍යාංශය සමුළුව සංවිධානය කරයි.

2024 පෙබරවාරි මස කෙන්යාවේ නයිරෝබි නුවරදී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 6 වැනි සැසිවාරය සඳහා දේශගුණික විපර්යාසය, පරිසර දූෂණය හා ජෛව විවිධත්ව හායනය යන මාතෘකා ත්‍රිත්වය ඔස්සේ ලෝකය මුහුණපා ඇති පාරිසරික අර්බුදයන්ට තිරසාර විසඳුමක් සාකච්ඡා කිරීම සඳහා මෙම සමුළුව කැඳවා තිබේ.

සමුළුවේ ලේකම්වරුන්ගේ සංසදයේ සභාපතිත්වය ගිය වසරේ සිට ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් දරනු ලබන අතර අමාත්‍යවරුන්ගේ සංසදයේ සභාපතිත්වය මෙම සමුළුවේ සිට ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය නෂීඩ් අහමඩ් මහතා විසින් ඉදිරි වසර දෙක පුරා දරනු ලැබේ.

මේ පිළිබඳව මාධ්‍ය හමුව අමාත්‍ය නෂීඩ් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (02) කොළඹදී පැවැති අතර, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ආසියා – ශාන්තිකර කලාපීයේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අධ්‍යක්ෂිකා ෂෙරීන් මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.

ජගත් කණහැරආරච්චි

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website