සිකුරාදා, 06 ඔක්තෝබර් 2023 10:27

ගුරුවරුන්ගෙන් කැපූ සල්ලි යළි දෙන්න නීතිපති එකඟ වෙයි Featured

පාසල් ගුරුවරුන්ගේ එකඟතාවයක් නොමැතිව පසුගිය රාජ්‍ය සමයේ කොවිඩ් අරමුදලට බැරකිරීම සඳහා ඔවුන්ගේ වැටුපෙන් අඩුකරනු ලැබූ සියලුම මුදල් ලබන නොවැම්බර් 30 වැනි දිනට පෙර යළි ලබාදීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.

ගුරුවරුන්ගේ කිසිදු අනුමැතියකින් තොරව කුමන කරුණක් සඳහා හෝ ඔවුන්ගේ වැටුපෙන් කිසිදු මුදලක් අඩුකිරීම නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම එය නීතිය හමුවේ බලරහිත ක්‍රියාවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මොහාන් ගොපල්ලව මහතා එම පොරොන්දුව ලබා දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ නියෝගයක් මත යැයි පෙන්වා දෙමින් එවකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසින් නිකුත්කළ චක්‍රලේඛයක් අනුව එම පළාතේ සේවය කළ සියලුම ගුරුවරුන්ගේ මාසික වැටුපෙන් එක් දිනක මුදල අඩු කිරීම අභියෝගයට ලක්කරමින් ලංකා ගුරු සංගමය, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, මහ ලේකම් ජෝශප් ස්ටැන්ලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම පොරොන්දුව ලබා දුන්නේය. නීතිපතිවරයා ලබාදුන් එම පොරොන්දුව අනුව සිය පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විජිත් කේ. මලල්ගොඩ, ජනක් ද සිල්වා හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ලට පැවැසූ අතර ඒ සඳහා විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නේය.

නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා, අනුරාධා යහම්පත් මහත්මිය හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි. 2020 ජුනි මස නීතිඥ ජගත් නානායක්කාර මහතා මගින් එම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website