ඒ මහතා මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ අකුරැස්ස, මාලිම්බඩ ප්‍රදේශයේ පැවැත්වූ එක්සත් ජනරජ පෙරමුණු ජනහමුවක් අමතමිනි.
එම ජනහමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු නායකයන් රැසක් මෙන්ම ප්‍රාදේශීය නායකයන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්
“මාතර ප්‍රදේශය නිල්වලා ගඟේ ගංවතුර ගැටලුව නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. කොළඹ සෑම ජූනි, ජූලි මාසෙකම බොහෝවිට ගඟ පිට ගලලා කොලොන්නාව, කඩුවෙල, කැලණිය ප්‍රදේශ වල ජනතාව අනාථ වෙනවා. ඒ අනාථ කඳවුරුවලට දේශපාලකයෝ, ආධාර බෙදනවා. මේකට තිරසර විසඳුමක් නැද්ද? මේ පිළිබඳව නොයෙක් යෝජනා 1960 ගණන්වල ඉඳන් කැළණි ගඟට යෝජනා වෙලා තිබුණා පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ කාලයේ. දොස්තර එස් ඒ වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ ඉඳන් මේ නිල්වලා ගඟටත් ඒ වගේම යෝජනා ඉදිරිපත් වෙලා, ක්‍රියාත්මකත් කළා. නමුත් ප්‍රශ්නය තාමත් විසඳිලා නැති බව අපට පේනවා. කොළඹ නගරය හා අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවෙන කරුණු ගැන අපි විධිමත් සමීක්ෂණයක් කළා. ඒ විධිමත් සමීක්ෂණයේදී අපිට පෙනුනා අවිධිමත් නාගරීකරණය,අනවසර පදිංචි වීම්, ඇල මාර්ග හිරවීම වගේ කාරණා. ඒ අනුව ලෝක ආධාර ඇතුව අපි ව්‍යාපෘති 15ක් ආරම්භ කළා. ඒකෙන් 6 ක් අවසන් කළා. දැන් කැලණි ගඟ උතුරලා ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. අපි පොම්පාගාර, ඇළ මාර්ගවල ගේට්ටු වගේම ඕලන්ද යුගයෙන් පස්සේ අපි උමං පද්ධති හදලා විධිමත් භාවයක් ඇති කළා. ඒ වගේම අපිට ඕන කළා ගාල්ලේ, අනුරාධපුරයේ, මහනුවර, මාතර ප්‍රශ්නය විසඳන්න. ඒ අනුව ගාල්ලෙත් අපට සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කරන්න බැරි වුණා. අර්ධ වශයෙන් අපි ඒ ව්‍යාපෘතිය නිම කළා. මහනුවරත් අර්ධ වශයෙන් නිම කළා. අනුරාධපුරයේ අපි වැඩ පටන් ගත්තා විතරයි. ඒ වගේම මාතර උපායමාර්ගික නගරයක් හැටියට ඩොලර් මිලියන 65 ආධාරයක් අරගෙන මාතර ගොඩ ගැහිලා තියෙන කුණු කන්ද, ගංවතුර උවදුර, නගරයේ වාහන තදබදය, නව නගරයක් නිර්මාණය කිරීම, ඇතුළත් වෙච්ච, බලගතු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සූදානමින් හිටියේ. හැබැයි ඉතින් රටේ ජනතාවට ඕන වුණා රට හදන්න විරුවෙක් ගේන්න. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මේ සියල්ලම අද රටට අහිමි වෙලා තියෙනවා. ගාල්ල කොටුවට බොන්න වතුර ටික නැතිවුණා කරදිය ඇවිල්ලා. අපේ කුඹුරු යායවල් යට නොවී අස්වනු විනාශ නොවී පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. අද තාක්ෂණය හුඟක් දියුණුයි එස් ඒ වික්‍රමසිංහ මහත්මයලාගේ යුගයට වඩා. මේක විසඳිය හැකි දෙයක්. ඒය විසඳාගන්න නම් උපාය මාර්ගික නගර ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කළ යුතුයි. මහනුවර දැවැන්ත ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න අපි ගෙනාපු සල්ලිවලින්, ජනතාවට ගෑස් අරන් දෙන්න සිද්ධ වුණා අයහපත් ආර්ථික තත්ත්වය නිසා.
කුකුළේ ගඟෙන්, කළු ගඟෙන්, නිල්වලා ගඟෙන් මහා දැවැන්ත ජල කඳක් මුහුදට යනවා. බොහෝ ප්‍රදේශවල බාගයක් යට වෙලා තියෙන්නේ. නමුත් කිලෝමීටර් 60 ක් 70 ක් ඈතින් ජලය හිඟයි. මේ රට ගොඩනගා ගන්න නම් අපි මුලින්ම කළ යුතු දේ තමයි අපේ පරණ රජ දරුවන් අනුව යමින් මේ ජල ගැටලුව විසඳා ගැනීම. ඒකට මේ ගිං ගඟේ, නිල්වලා ගඟේ වැඩි ජලය, ජලය අහිමි හම්බන්තොටට, මොනරාගලට ගෙන එන වැඩසටහනක් රටට අවශ්‍යයි. නිල්වලා ව්‍යාපෘතියෙන් ගඩොලක්, මුල්ගලක් තියන්නේ නැතුව කෝටි 400 ක් ගැහුවා 2015 ජනාධිපතිවරණයට දින කීපයක් තියලා. ඒ සාපෙ තමයි අද අපි හැමෝටම අද මේ ගෙවන්න වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය විසඳීමට නිකන් කටකතා නෙවෙයි. පැහැදිලි අත්දැකීම් සහිත පිරිසක් රටට ඕන කරනවා. අපි මේ එක්සත් ජනරජ පෙරමුණ නිර්මාණය කළේ, පසුගිය අවුරුද්දේ ඇතිවෙච්ච ඒ අරගලයේ පාඩම්වලින්. සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට යන්න. අපටත් පුළුවන් ආණ්ඩුවකට එකතු වෙලා, ඔය මොකක් හරි ඇමතිකමක් කරලා ජීවත් වෙන්න. නමුත් අපි තීරණය කළා, නෑ, අපි මෙතන වෙනසක් සිදු කළ යුතුයි කියලා.
ණය ගත්තා අවුරුදු 10 න් ගෙවන්න 6% -7% පොලියට. ඒවායින් කිසිම ආදායමක් එන්නැති තැන්වල ආයෝජනය කළා. ඒවා ගෙවා ගන්න බැරි වුණා දැන් අපි බංකොලොත්. අද මේ වෙනකන් බැරිවුණා අපේ ණය හිමියොත් එක්ක විදේශ ණය හිමියොත් එක්ක එකඟතාවයක් ඇතිකරගන්න කොහොමද ණය ආපහු ගෙවන්නේ කියලා. ඒ නිසා තමයි තාමත් මූල්‍ය අරමුදලේ දෙවනි වාරිකය අපට ලැබිලා නැත්තේ. විදේශ ණය හිමියොත් එක්ක අපේ එකඟතාවය පමා වෙන්න පමා වෙන්න මේ රට තව තවත් අර්බුදයට යනවා. මොකද අපි ණය පොලු තියපු, අපේ ණය හිමියෝ අපට එරෙහිව නඩු පවරලා. විදේශ රටවලුත් ඒ නඩු වලට මැදිහත් වෙලා තියෙනවා. ඒක පමා වුනොත් අපට සිද්ධ වෙනවා දීර්ඝකාලීන අර්බුදයකට ගමන් කරන්න.
අද මෙතන අපේ දරු පරම්පරාවේ ඉන්නවා. මේ දරුවෝ හැමෝගෙම බලාපොරොත්තුව මොකක්ද? විශ්ව විද්‍යාල අධ්‍යාපනය. පහුගිය උසස් පෙළ පමා වුණා. ඇයි? ආචාර්ය මහාචාර්යවරුන්ට නිසි ගෙවීමක් කරපු නැති නිසා. ඒ අය ආවේ නෑ උත්තර, පත්තර බලන්න. හැබැයි මතක තියාගන්න මේ වේගයෙන් ආචාර්ය, මහාචාර්යවරු රට ගියොත් මොකද වෙන්නේ? අප තව අවුරුදු දෙක තුනක් යනකොට උසස් පෙළ උත්තර පත්තරේ බලන්න නෙවෙයි, ප්‍රශ්න පත්තරේ හදන්න මහාචාර්යවරු නැතිවෙනවා. ඒ වගේම පාසල්වල විෂය මාලාව හදාගන්න බැරි වෙනවා. අන්න ඒ භයානක තත්වය රට යට තියෙනවා. ඒක එළිදරව් වෙන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉදිරිපත් කළා. සෑම 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්, අද අනතුරුදායක තත්වයකට ඇවිල්ලා. අපට වැඩි කාලයක් නෑ. අපි වහාම තීරණයක් ගත යුතුයි. මතක තියාගන්න ඊළඟ වසරේ ජනාධිපතිවරණය තියෙනවා කියනවා. ඡන්ද ක්‍රමය වෙනස් හදලා ජනාධිපතිවරණයක් නොතියා මහ මැතිවරණයක් තියෙනවා කියනවා. කොයි ක්‍රමයට ආවත් මතක තියාගන්න ඒ මැතිවරණයෙන් ඔබ තීරණය කරන ඔබේ වටිනා ඡන්දය තව වතාවක් මාධ්‍ය ජාල වලින් හදන බොරු වලට ඒ වගේම දක්ෂ ශූර කථිකයින්ගේ කතා වලට අසුවෙලා අපි අපේ දරුවන්ගේ අනාගතය විනාශ කළ යුතු නෑ. ඒ මැතිවරණය ප්‍රතිඵලය මේ රටේ ආචාර්ය මහාචාර්යවරු රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු වරලත් ඉංජිනේරුවරු, රටේ ඇත්ත අවංක ව්‍යවසායකයෝ තවදුරටත් මේ රටේ ඉන්නවද, නැද්ද? කියලා තීරණය කරන, මැතිවරණයක්. ලක්ෂ සංඛ්‍යාත අපේ දරුවෝ, අද විදේශ වලට යවන්න උත්සාහ කරනවා. අද දෙමව්පියන්ට, අනේ පුතේ මේ රටට සේවය කරපන් කියලා කියන්න බෑ ලැජ්ජයි. මොකද රට පත්වෙලා තියෙන තත්වයට අපේ දරුවෝ ඉන්නේ හරිම කේන්තියෙන්.
අපිට මතකයි අපි පොඩි කාලේ ඉන්දියාවෙන් ආර්ථික සෞභාග්‍ය හොයාගෙන ලංකාවට මුහුදෙන් එන කල්ලතෝනි මැඩලන්න තමයි නාවික හමුදාවේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ. අද ලංකාවෙන් පිටරට පයින කල්ලතෝනි ටික නවත්තන්න තමයි නාවික හමුදාවේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ. ලැජ්ජයි. අන්තිමට මදු රාශියේ යාචකයින්ගේ සල්ලි වලින් තෙල් ගන්න තැනට රට පත්වුණා. මේ ලැජ්ජා සහගත අවමන් සහගත තත්වයෙන් රට මුදා ගන්ඩ ඕනේ. මෙවැනි ලැජ්ජා සහගත අවමන් සහගත තත්වයන් අතීතයේ තිබුණා. මේ මොරවක්කෝරලේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ නරපතියා පළවෙනි විජයබාහු මහ සටන් දහසක් කරලා මේ රට එක්සේසත් කරලා රට ඊළඟ මහා පිම්මට එදා සූදානම් කළා. එදා එතුමා නොවෙන්න අද මේ සිංහලයින් පිරිසක් එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනයක් තවත් පවතින්නෑ. ඒ නිසා අපි අද වැටිලා තියෙන්නේ ඒක ඇත්ත. අපි ඉතාම අවමන් සහගත තත්වයකට පත්වෙලා තියෙන බව ඇත්ත. හැබැයි මෙතනින් නැගී සිටිය හැක්කෙත්, අපි හැමෝගෙම ශක්තියෙන්, අපි හැමෝගෙම අධිෂ්ඨානයෙන් කියන එකත්, අපි මතක තබාගත යුතුයි.
අපි කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ? අපි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන ප්‍රශ්න 3 ක් හඳුනාගෙන තියෙනවා. පළමුවැන්න තමයි, අපේ සෞඛ්‍ය ප්‍රශ්නය, අපේ රටේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා කවුරු මොන චෝදනා කළත්. අපේ රටේ මීට සියවසකට පෙර, හැම මනුස්සයෙක්ම අවුරුදු 40 කට අඩුවෙන් මැරුණා. ඒක තමයි ඇත්ත. මගේ වයස අවුරුදු 58 යි. ඇත්තටම ඒ තත්ත්වය තිබුණා නම්, මේ වෙනකොට මෙතන ඉන්න අපි වගේ වැඩිහිටි කවුරුවත්, ජීවතුන් අතර නෑ. අද ඒක අවුරුදු 80 කිට්ටු කරලා තියෙනවා. ඒ මේ නිදහස් සෞඛ්‍ය සේවයෙන් ලැබිලා තියෙන විශිෂ්ඨත්වය නිසා. එහෙනම් අපිට අවශ්‍යයි අවංක, වැදගත් විශේෂඥ මණ්ඩලයක්. අපි, මේ කාර්මික විද්‍යාල, මේ ඉංජිනේරු පීඨ, ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හා හෙද කාර්යමණ්ඩල වහාම පුහුණුවකට ලක් කරලා මේ සෞඛ්‍ය උපකරණ පද්ධතිය ක්‍රියාත්මක කරවන්න යන්න ඕන. ඉන්දියාව ගමෙන් ගමේ මිනිස්සු එක්කහු කරගෙන හඳට යන යානයක් හැදුවා. චන්ද්‍රයාන් කියලා. අපිට මේ අපේ ඉස්පිරිතාලේ තියෙන සීටී මැෂිම හදාගන්න බෑ. මේ ප්‍රශ්නය විසඳන්න අපි මැදිහත් විය යුතුයි.
ඊළඟට දැවැන්ත බදු පනවලා. කමක් නෑ. තියෙන මිනිස්සු බදු ගෙවිය යුතුයි. හැබැයි ඔවුන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මොනවද අපේ බදු මුදල් වලින් වෙන්නේ කියලා. එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ බදු ගෙවන්න වෙනවා. හැබැයි ඒ රටේ මිනිස්සු ඒක ප්‍රශ්න කරන්නෑ. ඇයි? හොඳ පොදු ප්‍රවාහන සේවාවන්, විදුලිබල පද්ධති හොඳ සිස්ටම් හැදිලා තියෙනවා. ඒක නිසා කවුරුවත් ඒ බදු ප්‍රශ්න කරන්නේ නෑ. අපේ රටේ බදු හොරු ඉන්නවා. ඒ බදු හොරුන්ගෙන් බදු අය කරගන්න කවුරුවත් නෑ. අද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විතරක් කෝටි ලක්ෂයක් බදු අයකරගෙන නෑ. මේ රටේ අවුරුද්දක් රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්න පුළුවන් සල්ලියක්. බදු අයකරගෙන නෑ. අරක්කු මුදලාලිලා 23 මේ රටේ ඉන්නේ. ඒ 23 න් 7 ක් කෝටි 650 බදු පොලු තියලා තියෙනවා. සුරාබදු කොමසාරිස්ට අපි පාර්ලිමේන්තුවෙන් නියෝගයක් දීලා තියෙනවා මේ ඔක්තෝබර් 31 වෙනිදට පෙර මේවා අයකර ගැනීමට ක්‍රියා කරන්න කියලා. අපේ මේ රේගු දෙපාර්තමේන්තුව එතනත් තියෙනවා කෝටි 600 වැඩිය අය කරගන්න. එතනත් අතිවිශාල වංචා සිදුවෙන තැනක්. මේවයේ ඉන්න හැම මිනිහම වංචනිකයෝ නෙමෙයි. සුළු පිරිසක් මේ ජාවාරම්කාර පැලැන්තියක් එක්ක එකතු වෙලා මෙතන මේ කෙරුවාව ගෙනියනවා. මේවා විධිමත් කරන්න අපි ගෙනල්ලා තියෙනවා යෝජනාවක්. මොකක්ද? හැඳුනුම්පත් අංකයට බදු එකයි. අපි ගිහිල්ලා වාහනයක් ගත්තද? දේපළක් මිලදී ගත්තාද? දුරකතනයක් ගත්තද? අංකයක් ගත්තද, වෙනත් මොනවා හරි ගනුදෙනුවක් කළාද, විදේශගත වුණාද, මේ මොනවා කළත් අපේ හැඳුනුම්පත් අංකයට සම්බන්ධ වෙන එහෙම නැත්නම් දත්ත වේදිකාවක් හදන්න කියලා.එක්සත් ජනරජ පෙරමුණේ ඔබ අපට ඒ ශක්තිය ලබා දුන්නොත් අවුරුද්දක් ඇතුළත එවැනි වේදිකාවකට ගෙනල්ලා මේ රටේ බදු ආදායම විධිමත් කරනවා විතරක් නෙමෙයි දැනට 45% මේ බදු දැලෙන් පැනලා එළියේ ඉන්නේ ඒ සියලු දෙනාවම එතෙන්ට ගෙන එන්න කටයුතු කරනවා කියන එක අපි කියනවා.
ඊළඟට අද ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගන්න බෑ. මොකද පොලිය වැඩියි. බැංකුවලට පොලු තියලා. බැංකුවලට පොලු තියලා තියෙනවා කෝටි එක්ලක්ෂ හතළිස්දාහක්. එහෙම නැත්නම් බිලියන 1400 ක්. ට්‍රිලියන 1.4 ක්. ඒ පොලු තියපු මිනිස්සුන්ගෙන් ඒක අය කරගන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවෙන් නියෝගයක් දුන්නා. ලංකා බැංකුවට, මහජන බැංකුවට. පොලු කාරයින්ගේ ලැයිස්තුව එවන්න කියලා. අද මේ වෙනකන් එව්වේ නැහැ. අන්න මේ පොලු කාර ලැයිස්තුව එළිදරව් වෙයි කියලා බයයි. කවුද ඉන්නේ? අපි දන්නවා ඉන්න අය. මේ ආණ්ඩුවේ බලගතු ඇමතිවරු. ඒ වගේම ඔය මහා සුද්දවන්තයෝ, දානපතියෝ වගේ ඉන්න අපේ ඇතැම් ව්‍යාපාරිකයෝ. ඒ වගේම ජාවාරම්කාර කල්ලි මේ ඔක්කොම ඉන්නවා. මේ ඉන්න හින්දා මේ නම් ටික දෙන්න අද බයයි. මේ පිළිබඳ උද්ඝෝෂණයක් රටට අවශ්‍යයි. ඇයි? මේ රටේ අහිංසක ව්‍යවසායකයා මේ බරෙන් ගොඩගන්න ඕනේ. ඒවා අයකර ගැනීමේ කඩිනම් ව්‍යාපෘතියක් හා බැංකු පද්ධතිය විධිමත් කළමනාකරණයකට ගේන්න අවශ්‍යයි. අද ඒ රාජ්‍ය අංශයේ තියෙන දූෂණ වංචා වල බරත් ඇවිල්ලා තියෙන්නේ මහජනයා පිට. මෙතන තියෙන්නේ කළමනාකරණයේ ප්‍රශ්නයක්. ඒක නිසා මේ රාජ්‍ය ආයතන කළමනාකරණ විප්ලවයකින් මුදාගෙන නිසි සේවය රටට ගෙන එන්න කටයුතු කළ යුතුයි.
ඊළඟට මේ රටේ විසඳගන්නම ඕන ගැටලුව, අපේ ආහාර ප්‍රශ්න. විශේෂයෙන්ම දූපත් රටක් හැටියට ඉදිරි කාලයේදී අපිට භයානක ජල විපත් වලට, භයානක නියඟ වලට, භයානක සුළි සුළං වලට මුහුණ දෙන්න වෙනවා. මතක තියාගන්න, දිල්ලිය ගංවතුරෙන් යටවුණා මෑතදී. බීජිං නගරය යට වුණා. නිව්යෝක් නගරය යටවුනා. ඒ වගේම යුරෝපයේ වතුර නැතුව බොහෝ ප්‍රදේශ අද කාන්තාරකරණය වෙමින් යනවා. මේ ප්‍රශ්නය අපිටත් එනවා. ඒක නිසා අපි මෙයට සූදානම් විය යුතුයි. අපි හැදුවා අලුත් මැනිං එකක්. සමහරු ගිහිල්ලා ඒකේ වතුර වෙන ඒවා බලනවා. ඒ මැනිං මාර්කට් එකේ මොකක්ද කරන්න ගියේ? ඒ මැනිං මාර්කට් එක අක්කර 25 අපි හැදුවේ. අක්කර දෙකහමාරක තිබිච්ච මැනිං මාර්කට් එකෙන් ඒක අයින් කළේ ඒ අක්කර දෙකහමාර කොළඹ දැවැන්ත පොදු ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කරන්න. මැනිං එකේ අපි කරන්න ගියේ දත්ත වේදිකාවක් හදන්න. ඒ දත්ත වේදිකාවෙන් ඕනම ගොවියෙකුට ඕනම තැනක දැනගන්න පුළුවන්. කොළඹ, තඹුත්තේගම, නුවරඑළිය, වැලිමඩ මේ ඕන තැනක තියෙන අලවල ගාන කීයද? ලූනු ගාන කීයද? ඒ වගේම එළවළු පළතුරු වල ගාන කීයද? මම අද අල ගලවන්න ඕනද? හෙට ගලවන්න ඕනෙද? එහෙම නැත්නම් මම ඊළඟ කන්නේ වවන්නේ මොනවද? කියන පිළිබඳ සම්පූර්ණ දත්ත වේදිකාවක්. මාතරින් ලොරියක් යනවා නම් බඩු ගේන්න. ඒ යන එක අර ජාලයට දැම්මම ඔහුට ලොරිය නිසි වෙලාවට එතනට එන්න අපි වැඩපිළිවෙල හදලා දුන්නා. අද මොකද වෙලා තියෙන්නේ? තැන් තැන් වල හිටපු ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකයෝ, කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලකයෝ, මහින්ද මහත්තයාගේ දැන් 4000ක් ඒක අල්ලගෙන. ඒක මහා පොළක් බවට පත් කරනවා. අච්චර වැදගත් ව්‍යාපෘතියක් නැත්තට නැති කළා.
අපි අපේ ජාත්‍යන්තර වෙළදාමට එක්කහු වෙන්න ඕන. අපි කවදාවත් හිතුවේ නෑ අපි ගෙදර බොන කොත්තමල්ලිය සමහන් වෙලා ජාත්‍යන්තර සන්නාමයක් වෙයි කියලා නේද? ඒ කියන්නේ අමිතාබ්බච්චනුත් බොන. නයෝමි කැම්බලුත් බොන බ්‍රෑන්ඩ් එකක් වෙයි කියලා අපි හිතුවේ නෑ අපේ කොත්තමල්ලි. අද එතන්ට ඒක ඇවිල්ලා තියෙනවා. අපට මහා ඉදිරි ගමනක් ජාත්‍යන්තර සන්නාම වලට ඇතුල් වෙලා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි මේ ජාල වලට එකතු වෙන්න ඕනේ. ඕවට ඉතින් අර පරණ බහුජාතික සමාගම් අම්මේ අපිව හූරන් කනවා. අරෙහෙ මෙහෙ කියලා ඒවාට බය වෙලා බැහැ. අපි ලංකාවේ අපේ බහුජාතික සමාගම හදන්න බලන්න ඕනේ. පිටරටවල් වල ව්‍යාපාර කරන ශක්තිමත් බහුජාතික සමාගමක් ලංකාවේ නිර්මාණය කරන්න. මොකද ලංකාවේ ආර්ථිකය හැකිලුනාට ලෝක ආර්ථිකය පළල් වෙනවා. අපිට තියෙන්නේ ලෝක ආර්ථිකයේ අපේ කෑල්ල කොහොමද අල්ලගන්නේ කියලා බලන්න.
මට මෙතනදි මතක් වෙනවා මං පහුගියදා ගියා ජේ ආර් ජයවර්ධන මහත්මයාගේ සමරු උත්සවයකට. ඒකෙදි එතුමාගේ මුණුබුරා මට දුන්නා 1967 සෙනායි කියන ඉන්දියානු විද්වතා ජයවර්ධන ජනාධිපතිතුමාටත් මේ වර්තමාන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පියා වෙච්ච එස්මන්ඩ් වික්‍රමසිංහටත් ලංකාව ගැන දීලා තියෙන වාර්තාවක්. මොකක්ද වෙලා තියෙන්නේ? එම වාර්තාවෙන් පළවෙනි වතාවට ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරයට ගෙනියන්න, අපගේ සන්නාම බිහි කරන්න, ජාත්‍යන්තර ආර්ථිකයට එකතු කරන්න. කවදද මේ කියන්නේ? 1967. ඉතාම වැදගත් මේක ඩඩ්ලි සේනානායක මහත්තයට දුන්නම ඩඩ්ලි මහත්තයා කිව්වලු රටේ දැවැන්ත වාමාංශික ව්‍යාපාරයක් තියෙනවා ඔවුන් අපිව නැතිකරයි, මේක කරන්න බෑ කියලා. දැන් අපි මතක තියාගන්න ඕන ඒ වෙලාවේ අපිට ආවා ආසියාන් කියන ඒ සංවිධානයට එකතුවෙන්න, මැලේසියාවේ අගමැතිගෙන් ආරාධනයක්. අපේ ඩඩ්ලි මහත්තයට. ඩඩ්ලි මහත්තයා බයවුණා ඒකට එකතුවෙන්න. පස්සේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා, ඒක කරන්න ගියා. ඒවා වෙච්ච දේවල් දැන් කතා කරලා වැඩක් නැහැ. හැබැයි ඒක අදටත් වලංගුයි.
ඊළඟට අලුතෙන් ඩොලර් උපයන්නේ කොහොමද? මේ රටේ තරුණ කැරලි වුණා. ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ලෙනුත්, ඒ වගේම 87, 89 කැරැල්ලෙනුත් ආයුද බලයෙන් තරුණ තරුණියෝ රටේ ක්‍රම වෙනස් කරන්න ගියා. එකෙන් අම්මලාට විතරයි දුක ලැබුණේ. හැබැයි පසුගිය අවුරුද්දේ අපේ තරුණ තරුණියෝ එක තුවක්කුවක් අල්ලන්නේ නැතුව, එක උණ්ඩයක් පාවිච්චි කරන්නේ නැතුව, රටේ අගමැති ඇතුළු පිරිස ගෙදර යැව්වා. අන්න එතනින් තමයි මේ රටේ ආර්ථිකෙත් පිම්ම ගන්න තියෙන්නේ. අද කොරියානු පන්තියට යන, ජපන් පන්තියට ගිහිල්ලා රටින් පනින්න යන, හොර පාස්පෝට් හදාගෙන කොහේ හරි රටකට යන්න හදන අපේ තරුණ පරම්පරාව තුළමයි. අපේ ගැලවීම අපේ විසඳුම තියෙන්නේ. අපි ඒක ගැන දැනගෙන තමයි, අපි හෝමාගම ඇති කළේ, තාක්ෂණික නගරයක්. ඒ ඩොලර් බිලියන පහක ආර්ථිකයක් හදන කොඳු නාරටිය තියෙන්නේ මෙතන.
මේ රටේ ලස්සන කතා අපි ඇතිවෙන්න අහලා තියෙනවා. සමහර ක්‍රීඩකයෝ ඉදිරිපත් වෙනවා අපට රට භාර දෙන්න කියලා. ඒගොල්ලෝ ක්‍රීඩාවේ දක්ෂයි. සමහර නළුවෝ ඉදිරිපත් වෙනවා. නළු කමට ලස්සනයි. පුද්ගලයෝ ලස්සනයි. ගායන හැකියාව තියෙනවා. රඟපෑමේ හැකියාව තියෙනවා. නමුත් කළමනාකරණයේ හැකියාවක් තියෙනවාද කියලා අපි බලන්න ඕන. ඒ නිසා ඔය ව්‍යාජ පොරොන්දු වලට නම් අම්මේ තාත්තේ නැවත අහුවෙන්න එපා. මේ ආර්ථික අර්බුදයේ ඕවා එකක්වත් විසඳුම් නෙවෙයි. අපිට ඕනේ අපේ ජනතාව ස්වෝත්සාහයෙන් නැගිට්ටවන්න. ඒ නිසා අර හක්මන උදැල්ල පරම්පරාවෙන් ආපු කීර්ති කුමාරයා පළවෙනි විජයබාහු හැටියට රට පත්වෙලා තිබිච්ච ඒ මහා බියකරු අනතුරෙන් රට මුදාගෙන නව රාජ්‍යයක් මේ රට තුළ ස්ථාපිත කළා පමණක් නෙවෙයි මේ ලෝකයේම ගෞරවයට පාත්වෙන රටක් බවට ලංකාව පත් කළා වගේ මීට සියවස් ගාණකට පෙර නැවත වතාවක් ඔබේ වාරය පැමිණිලා තියෙනවා රජ පවුල් වලට පැරණි පවුල් වලට ප්‍රභූ පවුල් වලට පැරණි මතවාද වලට කාල්මාක්ස් ලෙනින් ඉස්සර කරගෙන ගිය පරණ මතවාද වලට පරණ බලවේග වලට නෙමෙයි නව බලයකට රට විවෘත කළ යුතුයි අන්න ඒ සඳහා එකතු වන ලෙස ඔබ හැමගෙන්ම ඉල්ලා සිටිනවා.”
ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්