බ්‍රහස්පතින්දා, 12 ඔක්තෝබර් 2023 09:40

පාර දෙපස ගස් කපන්න ලොකු සාකච්චාවක්… Featured

තදාසන්න ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (ඔක්. 11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.

ආපදා තත්වයකදී ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාම, මිනිස් ජීවිත රැක ගැනීම සහ දේපල හානි වළක්වා ගැනීම යන කාරණා ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ජා කරනු ලැබීය.

විශේෂයෙන්ම තදාසන්න ප්‍රදේශවල ගස් සිටුවීමේදී එම ප්‍රදේශවලට ඔරොත්තු දෙන ආකාරයේ ශක්තිමත්, ප්‍රමිතියකින් යුතු පැල යොදා ගැනීමට අදාල ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී අමාත්‍යතුමා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

කෙටිකාලීන විසඳුමක් ලෙස විශේෂයෙන්ම කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා ඊට සිවිල් ආරක්‍ෂක බලකායේ සහයෝගයද ලබා දිය හැකි බව පැවසීය.

තවද තදාසන්න ප්‍රදේශවල කඩා වැටීමේ අවදානම් සහිත ගස් හඳුනා ගැනීමටත් ඒවා මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අදාල දීර්ඝකාලීන විසඳුමක් සකස් කිරීමටත් සිංගප්පුරුව වැනි රටවල් මේ සඳහා යොදා ගන්නා තාක්‍ෂණික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන ලෙසත්, ඊට අදාල තාක්‍ෂණික සහය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතන වලින් ලබාගැනීමටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන අමාත්‍යංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

– DMC

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website