සිකුරාදා, 13 ඔක්තෝබර් 2023 09:09

වකුගඩු බද්ධ කළ රෝගීන්ට දෙන එන්නත රෝහල්වල නෑ – විශේෂ ඉන්සියුලින් කාණ්ඩයත් නෑ Featured

වකුගඩු බද්ධ කිරීම් ඇතුළු අවයව බද්ධ කරන ලද රෝගීන්ට, එම බද්ධයන් ප්‍රතික්‍ෂේප වීම වළකාලීම සඳහා ලබාදෙන ‘Basilixmab’ නම් පළමු පෙළ එන්නත රෝහල්වල නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (12දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

මෙම ඖෂධය බාහිරින් මිලදී ගන්නේ නම් ආසන්න වශයෙන් රුපියල් ලක්‍ෂ තුනක මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුවනු ඇති බවත් ඉතා දුෂ්කර පළාත්වලින් අවයව බද්ධයන් සඳහා පැමිණෙන රෝගීන්ට බාහිරින් මෙම ඖෂධය මිලදී ගැනීමට නොහැකි වීමෙන් දැඩි ජීවිත අවදානමක් මතුව ඇති බවත් එම සන්ධානය කියයි.

මීට අමතරව දියවැඩියා රෝගීන්ට විවිධ කාණ්ඩයන්ට අයත් ‘ඉන්සියුලින්’ ලබාදිය යුතු වුවත් මේ වනවිට රජයේ රෝහල්වලින් තමන්ට නියමිත විශේෂිත ඉන්සියුලින් කාණ්ඩය ලබාගැනීමට නොහැකි වීමෙන් රෝගීන්ට විශාල මුදලක් ගෙවා එම ඖෂධ ද පිටතින් ලබාගැනීමට සිදුව ඇති බව එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පද්ධතියට අනුව දිගුකාලීන රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට සහ කුඩා දරුවන්ට ශල්‍යකර්ම සිදුකිරීමට මෙන්ම ශල්‍යකර්මවලින් පසුව ලබාදෙන බොහෝ ඖෂධ හා ශල්‍ය උපකරණ ද රෝහල් පද්ධතිය තුළ නොමැති බව අනාවරණය වී ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website