සදුදා, 16 ඔක්තෝබර් 2023 08:38

දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම් විභාගයට Featured

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට ධූරය හැර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද කොමිසමේ නියෝග අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව වත්මන් ජනාධිපති ලේකම් හා හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ආනන්ද විජේපාල, සන්ධ්‍යා එක්නැලිගොඩ, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය හා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට විජිත් මළල්ගොඩ, අර්ජුන ඔබේසේක හා අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තීරණය කර ඇත.

මීට පෙර මේ සම්බන්ධයෙන් ම රියර් අද්මිරාල් තුසිත විජේසේකර ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ එම දේශපාලන පලිගැනීම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේසේකර (ඔහු වත්මන් තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති වරයාය) හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුය.

එම පෙත්සම් සම්බන්ධයෙන් විවාද ලබන වසරේ පෙබරවාරි 14 හා 15 යන දිනවල සිදු කිරීමට නියම කර ඇත.

(ලසන්ත රුහුණගේ -anidda.lk)

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website