සදුදා, 16 ඔක්තෝබර් 2023 08:42

මීරියබැද්දේ නාය අවදානමක් 987ක් ඉවත් කෙරෙති Featured

අවතැන් පිරිස කඳවුරු තුනකට

යළි නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් දෙසිය හතළිස් ඒකකට අයත් පුද්ගලයන් නවසිය අසූහත් දෙනකු ඊයේ (14දා) රාත්‍රියේදී අවතැන් කඳවුරු තුනක නතර කිරීමට කටයුතු කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට වසර නවයකට පමණ පෙර කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායගිය ස්ථානය ආසන්නයේම පිහිටි කන්දෙන් ජල උල්පත් ගලාගෙන ඒමත්, ගල් පෙරළීමත්, මෙම කන්දෙන් ජල උල්පත් මතුවීමත් නිසා ඊට පහළින් පිහිටි වතු නිවාසවල පදිංචි පවුල් දෙසිය හතළිස් එකක් මෙසේ ඉවත් කර තිබේ.

මෙම නායයාමේ දැඩි අවදානම හේතුවෙන් කොස්ලන්ද මීරියබැද්ද කොටසේ පදිංචි පවුල් එකසිය තිස් හතරක්, මකල්දෙණිය කොටසේ පදිංචි පවුල් අසූ හතරක් සහ මල්වින් ඩිවිෂන් කොටසේ පදිංචි පවුල් විසිතුනක් මෙසේ ඒම නිවාසවලින් ඉවත් කර අවතැන් කඳවුරැ තුනක නතර කර තිබේ.

මෙසේ එම නිවාසවලින් ඉවත් කර පිරිස මීරියබැද්ද පරණ තේ කර්මාන්ත ශාලාව, පූනාගල ගනේෂා දෙමළ මහා විද්‍යාලය සහ කොස්ලන්ද පරණ තේ කර්මාන්ත ශාලාව යන අවතැන් කඳවුරුවල නතර කර තිබේ.

අවතැන් කඳවුරුවල නතර කළ පුද්ගලයන් සඳහා ආහාරපාන ලබාදීමටත් සුබ සාධන කටයුතු ඉටු කරදීමටත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා කොස්ලන්ද හා ලියන්ගහවෙල පොලිසිය කටයුතු කරමින් සිටිති.

මීරියබැද්ද නායයෑමෙන් පසු මෙම ප්‍රදේශයට නායයෑමේ දැඩි අවදානමක පැවතිය අතර මෙම ප්‍රදේශයේ පදිංචි පිරිස වසර නවයක කාලයක සිට ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි කියති.

මෙම ප්‍රදේශය නායයෑමට ලක්වුවහොත් මීරියබැද්ද නායයෑමෙන් සිදුවූ විපතට වඩා වැඩි විනාශයක් සිදුවීමේ දැඩි අවදානමක්ද මතුවී තිබේ.


කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website