සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 11:21

කාර්යමණ්ඩල මට්ටමේ අයි.එම්.එෆ් එකඟතාවක් Featured

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත.

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.

මේ අනුව අයි.එම්.එෆ්. කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් මාස 48ක විස්තීරණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අයි.එම්.එෆ් කළමනාකාරිත්වය සහ අයි.එම්.එෆ්. විධායක මණ්ඩලය විසින් එම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය මුදා හැරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම අරමුදල පවසන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති බවත් ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බවත්ය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ පාලන දුර්වලතා සහ දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීමට සහ ස්ථාවර සහ පැතිරුණු ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ණය වැඩසටහන සඳහා අදාළ සියලුම පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම අයිඑම්එෆ් විධායක මණ්ඩලයට සිය පළමු සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන බව ද එම අරමුදල කියයි.

ණය හිමියන්ගේ මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කාලානුරූපීව සහ ණය වැඩසටහනේ ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවට තහවුරු කිරීම අවශ්‍ය වන බව ද මූල්‍ය අරමුදල තවදුරටත් කියා සිටී.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 660 ක් පමණ වනු ඇත.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කොළඹදී පැවති ඵලදායී සාකච්ඡාවලින් පසුව සහ මොරොක්කෝවේදී පැවති අයිඑම්එෆ් වාර්ෂික රැස්වීම් අතරතුර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කාත්ස්යානා ස්විරිඩ්සෙන්කා මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (20දා) මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website