සෙනසුරාදා, 28 ඔක්තෝබර් 2023 09:26

සනත් නිශාන්ත නඩුවෙන් විනිසුරුවෙක් ඉවත් වෙයි Featured

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩු තුන විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් මහතා ඉවත් වන බව දන්වා ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (27 දා) සියලු පාර්ශ්වවලට දැනුම් දුන්නේය.

විනිසුරු චමත් මොරායස් මහතා හලාවත මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළ සමයේ පොලිසිය විසින් එක්තරා චෝදනාවක් යටතේ පවරා තිබූ නඩුවකදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බැවින් එම විනිසුරුවරයා නඩු විභාගයෙන් ඉවත්වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාට දැනුම් දුන්නේය.

එම නඩුව ඊයේ (27 දා) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි. 2022.08.23 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් නීතිඥ විජිත කුමාර, නීතිඥ ප්‍රියලාල් සිරිසේන යන මහත්වරුන් හා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනුකර තිබිණි. වගඋත්තරකාර අමාත්‍යවරයා ඊයේ (27 දා) විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා වගඋත්තරකාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටියහ. එම පෙත්සම් ලබන 31 වැනිදා යළි කැඳවීමටද විනිසුරු මඬුල්ල දින නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website