සෙනසුරාදා, 28 ඔක්තෝබර් 2023 09:47

පිටකොටුවේ සයමහල් ගොඩනැඟිල්ලක ගින්නක් Featured

පැය 4ක් තුළ ගින්න පාලනය කළා – ගිනි නිවීමේ හමුදාව
විෂ දුම වැදුණු හා පිළිස්සුණු 25 දෙනෙක් රෝහලේ 4 දෙනෙකුට අමාරුයි
ගිනි නිවන රථ 13ක් භටයෝ 40ක් ගිනි නිවන්න එති
තට්ටු හයෙන් පහකටම හානි විදුලි කාන්දුවක් දැයි සැකයක්

එකවරම දෙවැනි මහල දෙසින් මහා ගිනි ජාලයක් ආවා. ඒ එක්කම ඉහළ මහල්වල ඇති කඩ ටික දුමෙන් වැහුණා. ඒ පැතිරුණු දුම සමඟ හුස්ම ගන්නත් අමාරු වුණා. සමහර කඩවල්වල කට්ටිය මහා හයියෙන් කෑගහනවා ඇහුණා.” යැයි පිටකොටුව, දෙවැනි හරස් වීදියේ රෙදිපිළි, රූපලාවන්‍ය කට්ටල සහිත මහල් හයකින් සමන්විත වෙළෙඳ සංකීර්ණයක හටගත් ගින්නෙන් දිවිගලවා ගත් එම්. ශිවකුමාර් මහතා පැවසීය.

ඊයේ (27 වැනිදා) පෙරවරු 9.00 ට පමණ එම ගොඩනැඟිල්ලේ මෙම ගින්න හටගෙන තිබුණා. ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා විෂ දුම ආඝ්‍රාණය වූ ව්‍යාපාරිකයන්, වෙළෙඳසල් සේවකයන් හා පාරිභෝගිකයන් 25 දෙනකු මුදාගෙන රෝහල්ගත කිරීමට ගිනි නිවන භටයෝ කටයුතු කළහ.

ගින්න හටගැනීමත් සමඟ එම ස්ථානයට කොළඹ මහනගර සභාවේ ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 13 ක් පැමිණියේය. ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීමේ භටයන් 40 දෙනෙක් සහභාගි වූහ.

ry5769gg

මෙහිදී තවදුරටත් සිද්ධිය ගැන විස්තර කළ ශිවකුමාර් මහතා මෙසේද කීය.

“මම ඇඳුම් ගන්නයි ආවේ. ඒ ඉන්නකොට දෙවැනි මහලේ තියෙන ඒ.සී යුනිට් එක පැත්තෙන් ගින්නක් හටගන්නවා දැක්කා. ඒ සැනින් උඩට ගිනි පැතිරුණා. ඒ සමඟම පැත්තම දුමෙන් වැහුණා. මට හුස්ම ගන්නත් අමාරු වුණා. ඇස් දෙක කැවෙනවා වගේ දැනුණා. උඩ තට්ටුවල ඉන්න අය බේරගන්න කියලා කෑගහනවා ඇහුණා. මගේ පපුව රිදෙන්න ගත්තා. හිතාගන්න බැහැ මොකක්ද මෙහෙම වෙන්න හේතුව කියලා.

ඊළඟට කතා කළ ව්‍යාපාරික සාදික් මොහොමඩ් මහතා මෙසේ පැවසීය.

“මම මේ ගිනිගත්ත ගොඩනැඟිල්ලට අල්ලපු වෙළෙඳ සංකීර්ණයේ ඉන්නේ. මගේ වෙළෙඳසැලකුත් මේ ගිනි ගත්ත ගොඩනැඟිල්ලේ තියෙනවා. මම උදේ 9.00 ට විතර මේ ගින්න හටගත් ගොඩනැඟිල්ලty68ijgjg ඉස්සරහ ඉන්න කොට එකපාරටම පට පට ගාන සද්ධයක් එක්ක ගින්නක් ඇතිවෙන ආකාරය දැක්කා. මම ඒ සමඟම මේ ගැන පොලිසිය හා ගිනි නිවන ඒකකය දැනුවත් කළා. කොහොම හරි ගිනි නිවන හමුදාව විනාඩි 10 ක් ඇතුළත ආවා. ඒ අය එන්න ප්‍රමාද වුණා නම් මෙතැන අනෙක් ව්‍යාපාරික ගොඩනැඟිලිවලටත් ගින්න පැතිරිලා මහා විනාශයක් වෙන්න තිබුණා. අපරාදෙ කියන්න බැහැ ගිනි නිවන මහත්වරු ඉක්මණින් ක්‍රියාත්මක වුණ නිසා කොළඹ මහා විනාශයක් වැළකුණා.

ඊළඟට කතා කළ සමන් සම්පත් මහතා මෙසේ කියා සිටියේය.

“මම මේ ගොඩනැඟිල්ල ඉස්සහින් ගමන කරන විට මහා ගිනි ජාලාවක්. හිතාගන්න බැහැ. ගිනි නිවීමේ රථවලින් ඉහල මහලවල සිරවුණු අය මුදාගන්නවා දැක්කා. හුස්ම ගන්න අපහසු රෝගීන් ගිලන් රථවලට දාන්න මං උදව් කළා. සමහර අයට සිහිය තිබුණේ නැහැ.

අප මේ ගැන කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කමල් විල්සන් මහතාගෙන් විමසා සිටියෙමු.

“මේ ගින්න මැඬපවත්වන්න අපි ගිනි නිවන රථ 13 ක් රැගෙන ආවා. ඒ සඳහා ගිනි නිවන භටයන් 40 ක් සම්බන්ධ වුණා. මේ ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ ගින්නත් සමඟ සිර වී සිටි පුද්ගලයන් මහත් පරිශ්‍රමයක් දරා මුදාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත්තා. ඒ සඳහා ගිනි නිවීමේ ඒකකයේ ගිලන් රථ 7 කුත් යොදා ගත්තා. මේ ගින්න පැය 4 ක් තුළ සම්පූර්ණයෙන් ම මැඬපැවැත්වූවා. ගින්නට හේතුව හරියටම කියන්න බැහැ. විදුලි කාන්දුවක් බවට සැක කරනවා. මෙම ගින්න නිසා වෙළෙඳ සංකීර්ණයේ මහල් 6 න් 5 කටම හානි සිදු වී තිබෙනවා.

ගින්න හටගත් වෙළෙඳ සංකීර්ණය නිරීක්‍ෂණය සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා පැමිණීමට නියමිතව තිබිණි.

ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු භටයන් ගිනි නිවීමේ රථවලින් එක් පසෙකින් ගින්න නිවන අතරේ, තවත් කණ්ඩායමක් ඉහළ මහල්වල සිරවී සිටි පිළිස්සුම් තුවාල ලැබූවන් හා හුස්ම ගැනීමට අපහසු තත්ත්වයේ පසුවූවන් මුදාගැනීමේ කාර්යයේ නිරතව සිටිනු දැක ගත හැකි විය.

පසුව එම මුදාගත් රෝගීන් පොලිසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගිලන් රථවලට නංවා රෝහල්ගත කිරීමට පියවර ගන්නා අයුරු දැකගත හැකි විය.

මුදාගැනුණු බොහෝ දෙනකු සිහිමුර්ජා වී සිටිනු දැක ගත හැකි විය.

මුදාගැනුණු පුද්ගලයන් 25 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය පැවසුවාය. ඉන් 11 දෙනකු පිරිමි අය බවත්, ඉතිරි පිරිස කාන්තාවන් බවත් ඇය කියා සිටියාය.

bt7080lhk

ඔවුන්ගෙන් 4 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද ඇය කීවාය.

ඔවුන්ට හුස්ම ගැනීමේ ඇති අපහසුතාවය හේතුවෙන් කෘතිම ශ්වසනය ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඈ කීවාය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය ඇතුළු තවත් පොලිස් ස්ථාන පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රදීප් ජයසේකර – කොළඹ මධ්‍යම –

ඡායාරූප – සුජාතා ජයරත්න

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website