බදාදා, 22 නොවැම්බර් 2023 10:29

කුණු ආහාර බහාලුම් 43ක් වරායෙන් පන්නන්න හදලා Featured

ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් හතළිස් තුනක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක් සත්ත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ.

මෙම ආහාර වර්ග ද්‍රව්‍ය තොගය වරායෙන් පිට වූයේ නම් එළැඹෙන උත්සව සමයේ සාමාන්‍ය වෙළෙඳ පොළට පැමිණීමේ දැඩි අවදානමක් තිබී ඇති අතර, මේ අන්දමට එම ආහාර තොගය වරායෙන් පිට කිරීමට සූදානම් වූයේ ඒ සඳහාම දැයි යන්න සැක මතුවී ඇත.

වරාය ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි රුපියල් ලක්ෂ තිස්තුනක ඇප මුදලක් පැය විසිහතරක් තුළ තැන්පත් කළ යුතු බව සඳහන් කරමින් ඉදිරිපත් කළ ටෙන්ඩරයක් මගින් මෙම බහාලුම් හතළිස්තුන කොළඹ වරායෙන් පිටතට යැවීමට සැලසුම් කර තිබී ඇත.

වරාය බලධාරින් මෙම ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ ශාක නිරෝධායතනයේ මෙන්ම පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී අයුරින් බව වරාය ටෙන්ඩර්වලට ඉදිරිපත් වන පිරිස පවසති.

පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය, වරාය බලධාරීන් මෙහිදී ලිඛිතව ඉල්ලා ඇතත් එය ලැබීමට පෙර මෙම ටෙන්ඩරය ක්‍රියාත්මක කර තිබේ.

පැය විසිහතරෙන් ක්‍රියාත්මක කළ මෙම ටෙන්ඩරයට මෙරට පිළිගත් සත්ත්ව නිෂ්පාදන සමාගම්වල නියෝජිතයන් ලෙස පුද්ගලයන් එකොළොස්දෙනකු ඉදිරිපත්වී සිට ඇතත් ඔවුන් සැබවින්ම අදාළ සමාගම්වල නියෝජිතයන් දැයි විමසීමක් සිදුකර නැතැයි ද ඉහත පිරිස කියති.

මෙම ටෙන්ඩර්කරුවන් එකොළොස්දෙනා අතර පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සුදුලූනු වංචාවේ හා පාම් තෙල් ජාවාරමේ මහ මොළකරුවන් දෙදෙනා සහ වරාය ඩිස්ට්‍රෝයි ජාවාරමේ දෙදෙනකු ද සිට ඇත.

සමන් ගමගේ

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website