අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 07:35

ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා Featured

ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා

හොංකොං දේශයේ  ශාක්‍යමුනි සංස්කෘතික පදනමේ නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂ ආචාර්ය ක්වොක් සියු මින්ග් මැතිතුමා (Honorable Dr. Kwok Shiu Ming, the Director of International Centre of Sakyamuni Culture Limited, Hong Kong)  බුදුදහමේ සහ බෞද්ධ ජනතාවගේ සමාජ ආර්ථික ශූභසිද්ධිය වෙනුවෙන් සුවිසල් සේවාවක් සිදු කරන බෞද්ධ මහාදානපතියෙකි. තෙරුවන් පිළිබඳ අනූපම ගෞරවයකින් සහ භක්තියකින් කටයුතු කරන එතුමන්ගේ මෙම සමාජ සත්කාරයන්ගේ ප්‍රධානම අරමුණ වන්නේ අසරණ බෞද්ධ ජනතාව දෙපයින් නැගී සිටුවා බෞද්ධ ජනතාවගේ තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැඩි දියුණු  කොට බුදුදහමේ චිරස්ථිතිය සුරක්‍ෂා කිරීමයි. ලෝකප්‍රසිද්ධ බෞද්ධ මහාපඬිරුවනක් වූ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල හිමිපාණෝ මෙතුමන්ගේ ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණෝය.

මේ වනවිට මෙතුමන් විසින් සුවිසල් සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් රට පුරා ආරම්භ කොට ඇත. ඒ අතරින් උතුරු මැද, වයඹ සහ ඌව ආදි පළාත්වල ජනයා දශක ගණනාවක සිට මුහුණ දෙන උග්‍ර ගැටළුවක් වන පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටළුවට  විසඳුම් වශයෙන් ජල පිරිපහදු යන්ත්‍ර මධ්‍යස්ථාන 35 ක් පමණ ඉදිකොට ජනතා අයිතියට පත්කොට ඇත. 

එසේම භික්‍ෂු අධ්‍යාපනය දියුණු කරමින් නූතන තොරතුරු තාක්‍ෂණය ලබාදීමට දුෂ්කර පිරිවෙන් ගණනාවකට පරිගණක ඒකක පරිත්‍යාග කොට ඇත. වර්තමාන ආර්ථික කඩාවැටීම හමුවේ දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් පන්දහසකට පමණ පාසල් ලිපි ද්‍රව්‍ය ලබාදීමට ද මේ වනවිට එතුමන් විසින් පියවර ගනිමින් සිටී. මෙම වැඩසටහන වාර්ෂිකව සිදු කිරීමට එතුමන් අපේක්‍ෂා කෙරේ. 

ආචාර්ය ක්වොක් මැතිතුමන්ගේ දෙවැනි මව්බිම වන ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති ආර්ථික පරිහානිය හමුවේ ජනජීවිතය කඩාවැටීම නිසා එතුමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර ඉතාමත් ඉක්මනින්ම ආර්ථික ස්ථාවරත්වය රට තුළ ඇතිවීම එතුමන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ සඳහා රටේ විහාරස්ථාන සහ බෞද්ධ දානපතියන් එකතුව සමාජ ශුභසාධන වැඩපිළිවෙලක් යුහුසුළුව ආරම්භ කිරීම අතිශය වැදගත් වන බව තවදුරටත් එතුමන් විසින් පෙන්වා දෙනු ලැබේ.

බුදුදහමේ චිරපැවැත්මයට සහ අසරණ බෞද්ධ ජනතාව වෙනුවෙන් සිදුකරන අද්විතීය සමාජ මෙහෙවර අගයමින් එතුමන්ට සමාජ සේවය සඳහා පිරිනමන ඉහලම සම්මානය මෙම වසරේදී පිරිනමන්ට විය. ආචාර්ය ක්වොක් සි්‍යු මින්ග් මැතිතුමන්ට තවදුරටත් මෙවන් අත්‍යුදාර සමාජ සේවාවන් සිදුකිරීමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි පාර්ථනා කරමි.

| ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි,

ඓතිහාසික මොළගොඩ වළගම්බා රජමහ විහාරය,

Last modified on අඟහරුවාදා, 28 නොවැම්බර් 2023 08:07

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website