සදුදා, 04 දෙසැම්බර් 2023 05:30

ලොව හොදම ඩෙංගු ප්‍රතිකාර සේවාව සපයන මීගමුව රෝහලේ ඩෙංගු රක්තපාත මධ්‍යස්ථානයට සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට Featured

ලොව හොදම ඩෙංගු ප්‍රතිකාර සේවාව සපයන මීගමුව රෝහලේ ඩෙංගු රක්තපාත මධ්‍යස්ථානයට සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ වත්මන් ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක වන ආකාරය හා එම මධ්‍යස්ථානයේ ඉදිරි කටයුතු පිළිබදව සොයා බැලීම සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා ඊයේ (02) දින රාත්‍රී 8.30 ට පමණ එම මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සෞඛ්‍ය ලේකම් ධූරයට පත් වු පසු රෝහලක සිදු කල පළමු නිරීක්ෂණ චාරිකාව මෙය වු අතර ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම්වරයා ළමා රෝග ප්‍රතිකාර වාට්ටුවල ද නිරීක්ෂණයක නිරත විය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත 2013.07.13 වන දින සුව සේවා සත්කාරයට එක් වු මෙම මධ්‍යස්ථානය මගින් මේ වන විට රෝගීන් 16000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර සිදු කර සුවපත්  ඇත. සියලුම වයස් කාණ්ඩ වල ඩෙංගු රෝගීන් හට ප්‍රතිකාර ලබා දීම සදහා වෙන් වු ලොව පළමු , හොදම   මධ්‍යස්ථානය ලෙස මෙය හැදින්විය හැක.

කායික හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයෝගී අධීක්ෂණය යටතේ විශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහයෝගීත්වයෙන් රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාම, රෝගීන් ඇසුරු කිරීමෙන් ඩෙංගු රෝගී ප්‍රතිකාර ක්‍රම පිළිබද ප්‍රයෝගික පුහුණුව හා අධ්‍යාපනයක් වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලය ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට ලබා දීම, ඩෙංගු රෝගී ප්‍රතිකාර විධි පිළිබදව පර්යේෂණ හා අධ්‍යනය සිදු කිරීම මෙම ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කාර්ය වේ.

මෙහිදී , එම මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත වු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා කියා සිටියේ මෙම මධ්‍යස්ථානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙසත් ඩෙංගු රෝග ප්‍රතිකාර පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් ඉදිරියේ දී පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවයි.

මෙරට අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සදහා දිවා රාත්‍රී නොබලා වෙහෙස වී කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුවන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සදහා මුලිකත්වය ගෙන කටයුතු කල ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාටත් සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී විශේෂ ස්තූතියක් ද පිරිනමන ලදී.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා  අදහස් දක්වමින් කියා සිටියේ, වත්මන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා අතිරේක ලේකම්වරයකු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කල සමයේ ලබා දුන් විශේෂ අනුග්‍රහය, කැපවීම,මගපෙන්වීම මත මෙම මධ්‍යස්ථාන ගොඩනැගැණු බවය. එම සහයෝගය නිසා මේ වන විට ජීවිත දසදහස් ගණනක් බේරා ගැනීමට හැකි වු බවත්, ලොව හොදම ඩෙංගු ප්‍රතිකාර සේවාව සපයන ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සදහා වු සායනික කළමනාකරණ මධ්‍යස්ථානය මෙය බවත්ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී.විජේසුරිය, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ප්‍රනාන්දු  යන මහත්වරුන් ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website