ඉරිදා, 10 දෙසැම්බර් 2023 09:58

හාල් පනත සංශෝධනය කරයි Featured

මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

රටේ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් විසින් කෘත්‍රිමව නිර්මාණය කිරීමට උත්සාහ දරණ සහල් හිඟය මෙම උත්සව සමයේ සහල් මිල ඉහළ නැංවීම සදහා යොදන ලද උපක්‍රමයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන සඳහා පමණි. සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැත.

මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම පනත සංශෝධනය සඳහා ලබන මාසය ඇතුලත පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(අංජුල මහික වීරරත්න)

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website