බදාදා, 20 දෙසැම්බර් 2023 09:54

තමිල් අරුසු කච්චි තුනට කැඩෙයි! Featured

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කලින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට පෙරේදා (18දා) තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ සාමාජිකයෝ මත තුනකට බෙදී සිටිති.

මධ්‍යම කාරක සභා රැස්වීම 2024 ජනවාරි මස 21 වැනිදා ත්‍රිකුණාමලයේදී පවත්වා පක්ෂයට නව නායකයකු තෝරා පත්කර ගන්නා බවත් පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව 26 දා රැස්වී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ 17 වෙනි සංවත්සරය ජනවාරි මස 27 හා 28 යන දිනයන්හි ත්‍රිකුණාමලයේදී පැවැත්වීමටත් තීරණය කළ බවත් එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මන්තීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

නමුත් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් කියා සිටින්නේ පක්ෂයේ නායකයා තේරීමට මෙතෙක් කිසිදු දිනක ඡන්දයක් පවත්වා නොතිබියදී මෙවර පමණක් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීම නිසා පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි. පක්ෂයට නායකයකු තෝරා ගැනීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් තීරණයක් ගැනීමට තවමත් ඉඩකඩ තිබෙන බව පවසන එම මන්ත්‍රීවරුන් කියා සිටින්නේ දෙතුන් දෙනකුගේ බල තණ්හාව නිසා පක්ෂයම විනාශ වී යමින් ඇති බවයි.

දැනටමත් පක්ෂයේ නායකත්වය සඳහා නම් තුනක් යෝජනා වී ඇති බව කියන එම මන්ත්‍රීවරු ඡන්දය ආසන්න වන විට මේ තත්ත්වය තවත් වෙනස් විය හැකි බවද සඳහන් කරති. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ත්‍රිකුණාමලය ශාඛාවට තැනක් ලැබී නොමැති බවටත් පක්ෂයට උදව් උපකාර කළ විශාල පිරිසක් නොසලකා හැර ඇති බවටත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා චෝදනා එල්ල කිරීමෙන් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභ රැස්වීම ත්‍රිකුණාමලයේ පැවැත්වීමට තීරණය කොට ඇති බවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු චෝදනා කරති.

ඔවුන් කියා සිටින්නේ මේ අවස්ථාවේදී පක්ෂයේ පුද්ගලයින් සැනසීම නොව පක්ෂයේ ස්ථාවරත්වයක් ඇති කොට රජය සමග සාකච්ඡා කර දෙමළ ජනයාගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ යුතු බවයි.

දිනසේන රතුගමගේ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website