බදාදා, 27 දෙසැම්බර් 2023 10:55

සිරිපා කරුණාවටත් ගැසැට්ටුවක් Featured

මත්ද්‍රව්‍ය භාවිතයට හා වෙළෙඳාමට වැට බඳී

සිරිපා වන්දනා සමයේදී බැතිමතුන් විසින් අනුගමනය කළ යුතු සහ නොකළයුතු ක්‍රියාකාරකම් සම්බන්ධයේ රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (26 දා) උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ කෙරුණු අතර ඒ නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙඳාම තහනම් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරයා හෝ බලයලත් නිලධාරියකු විසින් අවසර දුන් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු බව ද දන්වා තිබේ.

මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙන යෑම හෝ වෙළෙඳසල් තුළ තබා ගැනීම, විකිණීම, මිලදී ගැනීම හෝ භාවිත කිරීම ද සපුරා තහනම් වේ.

පිවිසුම් මාර්ගයන්හි අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසල් තැනීම, පවත්වාගෙන යෑම හෝ වෙළෙඳාම් කිරීම ද තහනම් කර ඇති අතර සෑම වෙළෙඳසලකම කසළ බැහැර කරන බඳුන් තැබිය යුතු වේ.

විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව පැවැතිය යුතු අතර දන්සල් ලබා දීමේදී සෞඛ්‍ය තත්ත්වයන්ට අනුකූලව සිදුකිරීමත් බලයලත් නියෝජිතවරයකුගෙන් අවසර ලිඛිතව ලබා ගැනීමත් සිදු කළ යුතුව තිබේ.

රට තුළ පවතින වසංගත රෝග තත්ත්වයන් යටතේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කලින් කලට නිකුත් කරනු ලබන නිසි – සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු අතර ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රීපාද මළුව තුළ නවාතැන් නොගත යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website