සෙනසුරාදා, 13 ජනවාරි 2024 08:21

අඟහරුවාදා සිට යළි රෝහල් වර්ජන Featured

වෛද්‍ය නිලධාරීන් සඳහා රජය ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමනට ද ලබාදී ආර්ථික යුක්තිය ඉටුකර ලෙස ඉල්ලමින් ලබන 16 දා (අඟහරුවාදා) උදෑසන 6.30 සිට රටපුරා රෝහල්වල යළි එක්දින වැඩවර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම ලබන 18 දා (බ්‍රහස්පතින්දා) සියලු රෝහල් ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට ද ඊයේ (12 දා) පැවති එම බල මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය 8 වැනිදා වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමට රුපියල් 35,000 ක දීමනාවක් ලබාදීමට තීරණය කිරීමත් සමග සෞඛ්‍ය වෘත්තීය සමිති 10 ක් තමනට ද තිස්පන්දහසක මුදල් ඉල්ලා වර්ජන ක්‍රියා මාර්ගයන්හි නිරත වූහ.

එම ක්‍රියා මාර්ගයත් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම බල මණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොලද බැවින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 කින් යුතු සෞඛ්‍ය සේවකයන් සමග ලබන අඟහරුවාදා සිට යළි වෘත්තී ක්‍රියා මාර්ගයන්හි නියැලීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා ඊයේ (12 දා) මාධ්‍ය වෙත සඳහන් කළේය.

වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ‘රඟපෑමක’ නිරත වන බවත් තමන් රැවටීමට උත්සාහ ගන්නා බවත් ලබාදුන් ප්‍රතිචාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් යළි වෘත්තීය ක්‍රියා මාර්ග වෙත පිවිසෙන බවත් හැකිනම් ජනපතිවරයා විදේශ ගත වීමට පෙර ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඊයේ (12 දා) පැවසීය.

සුජීව තත්සර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website