සෙනසුරාදා, 13 ජනවාරි 2024 15:30

දූෂණයට එරෙහි පුරවැසි අපේක්ෂාවන් වෙනුවෙන් අල්ලස් කොමිසම ඉදිරියට පැමිණිය යුතුයි: TISL ආයතනය Featured

දූෂණයට එරෙහි පුරවැසි අපේක්ෂාවන් වෙනුවෙන් අල්ලස් කොමිසම ඉදිරියට පැමිණිය යුතුයි: TISL ආයතනය

නව දූෂණ විරෝධී පනත බලාත්මක වීමත් සමග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත වැඩි බලතල පැවරී ඇත. විනිසුරු නීල් ඉද්දවලගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල අල්ලස් කොමිසම පසුගියදා පත් වූ අතර, රටේ මුල් බැස ගත් දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැන් ප්‍රබලව මතු වේ. 

2022 වසරේ ඇති වූ දැවැන්ත ජනතා අරගලය හරහා ඉස්මතු ප්‍රධාන කරුණක් නම්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රටේ මුල් බැසගත් දූෂණය සහ රාජ්‍යකරණයේ දුර්වලතා හේතු වූ බව මහජනතාවට අවබෝධ වූ බවයි. එම ගැටලු නිරාකරණයට රජය සද්භාවයෙන් මැදිහත් නොවීම පිළිබඳව ජනතාව තුළ දැඩි කලකිරීමක් දක්නට ලැබේ. දූෂණ විරෝධී ප්‍රයත්නවල සැබෑ ප්‍රගතිය අප රටේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා තීරණාත්මකව බලපාන බව සිවිල් සමාජය සහ ජාත්‍යන්තර ආධාර සපයන ආයතන, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා (IMF) අවධාරණය කර ඇත. IMF ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා යෝජනා කර ඇති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, එම ආයතනය විසින් අප රටේ රාජ්‍යකරණය පිළිබඳව කරන ලද තක්සේරුව, සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ නිර්දේශ ආදී මේ සියල්ල හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලගැන්වීමේ වැදගත්කම අවධාරණය කරයි.   

සුළු වැරදිකරුවන්ට පමණක් නොව මහා පරිමාණයෙන් සිදු වන අල්ලස් හා දූෂණ සිද්ධීන් විමර්ශනය කර මහා පරිමාණ වැරදිකරුවන්ටද දඬුවම් පැමිණවීම මගින් CIABOC වෙත මහජන විශ්වාසය යළි දිනා ගත හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ මොහොතේ අවධාරණය කරයි. මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් වගවීමක් ඇති කිරීම හරහා අකටයුතු නාදකයින්ට (whistleblowers) සහ සාක්ෂිකරුවන්ට නොබියව ඉදිරියට පැමිණීමට උත්තේජනයක් සපයනු ඇත.  

වත්කම් ප්‍රකාශන සඳහා කඩිනමින් මහජනතාවට ප්‍රවේශය ලබා දීම, මහා පරිමාණ දූෂණ සිද්ධීන් ප්‍රගාමීව විමර්ශනය කිරීම, සිය විෂයපථය පුළුල් කර ගනිමින් පුද්ගලික අංශයේ අල්ලස සහ ක්‍රීඩා සම්බන්ධ දූෂණ සිද්ධීන් ආමන්ත්‍රණය කිරීමට යොමු වීම, සහ සිය කැපවීම සහ ප්‍රගතිය මහජනතාවට නිසි ලෙස සන්නිවේදනය කිරීම ආදිය මගින් කොමිෂන් සභාවට විශාල කාර්ය භාර්යක් ඉටු කළ හැකි වනු ඇත. 

ශ්‍රී ලංකාවේ පුළුල්ව පැතිරුනු දූෂණ ගැටලුවේ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින්, දූෂණයට එරෙහි සටන සඳහා දූරදර්ශී, නිර්භීත නායකත්වයක් ලබා දෙන ලෙස අලුතින් පිහිටුවන ලද කොමිෂන් සභාවෙන් TISL ආයතනය ඉල්ලා සිටියි. මෙම තීරණාත්මක අවස්ථාවේ අප රට යළි නඟා සිටුවීමේ කර්තවයට උර දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අවශ්‍ය කරන මූල්‍ය හා ආයතනික ස්වාධීනත්වය සහ සහයෝගය ලබා දෙන ලෙස TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි. 

Last modified on සෙනසුරාදා, 13 ජනවාරි 2024 15:31

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website