සදුදා, 15 ජනවාරි 2024 11:51

අපිව කන්දකාඩු යවන්න එපා – කඳවුරේ පහේ දහයේ කල්ලි බෙදිලා ඔවුන් අපට නිතරම ගහනවා Featured

කඳවුරේ සර්ලත් අපට ගහනවා

අපිව බන්ධනාගාරයටවත් යවන්න

රැඳවියෝ පිරිසක් කියති

කන්දකාඩු පරිපාලනයේ වෙනසක් ඉක්මනින් කරනවා – අධිකරණ ඇමැති
“අපිට නැවත කන්දකාඩු, සේනපුර කඳවුරුවලට යන්න බෑ. බන්ධනාගාරයට යන්න අපිට උදව් කරන්න. කඳවුරුවල ඉන්නවාට වඩා බන්ධනාගාරයේ ඉන්න එක හොඳයි. නිදහස් වෙන්න තව මාස දෙකයි තිබෙන්නේ ” යැයි කන්දකාඩු කඳවුර තුළ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රැඳවියෝ පවසති.
ඉකුත් 12 වැනිදා සවස 2 ට පමණ කන්දකාඩු කඳවුරු තුළ රැඳවියන් ආහාර ගන්නා අවස්ථාවේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් රැඳවියන් 26 දෙනකු තුවාල ලබා වැලිකන්ද සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබුණි. මෙම ගැටුමෙන් පසු රැඳවියන් 60 දෙනකු කඳවුරෙන් පලාගොස් තිබූ අතර පලා ගිය රැඳවියන් 15 ක් පුලස්තිගම පොලිසියේ නිලධාරීන් කණඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. වැලිකන්ද පොලිසිය මගින් රැඳවියන් 26 ක්ද, පොලොන්නරුව පොලිසිය මගින් රැඳවියන් 5 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර තුවාල ලැබූ රැඳවියෝ 26 දෙනෙක් පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමෙන් තුවාල ලබා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියෝ මෙම ගැටුම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

“කඳවුරේ කෑම ගන්න ගිය වෙලාවේ තමයි මෙම ගැටුම් ඇති වුණේ. අපි ඉන්න කඳවුරේ පහේ දහයේ කල්ලි කියා කල්ලි බෙදිලා ඉන්නේ. ඔවුන් නිතරම අපිට ගහනවා. පොලු මුගුරුවලින් අපිට ගැහුවා. අපි නැවත පුනරුත්ථාපන කඳවුරට ගියොත් ඔවුන් අපි මරනවා. ඒකයි අපි කියන්නේ අපිට නැවත කඳවුරට යන්න බැහැ කියලා. මේ පුනරුත්ථාපන කඳවුරේ ඉන්න සර්ලා අපිට පොල් වළවල් කපන්න

ගොවිපළේ වැඩ කරන්න කියනවා. වැඩ නොකළොත් ගහනවා. මේ දුක විඳින්න තියෙන්නේ තව මාස දෙකක් තුනක් පමණ කාලයක්. ඒ ටික කාලය අපිට බන්ධනාගාරයේ ඉන්න එක හොඳයි.

ඊයේ උදේට කෑම ගත්තාට පස්සේ තවම අපිට කෑමක් නැහැ. අපිව උසාවි දාන්න උදවු කරන්න. අපිට පුළුවන් මේ ටික කාලය බන්ධනාගාරයේ ඉඳලා ගෙවල්වලට යන්න” ඒ රැඳවියන් කියන කථාවයි.

වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. රත්නායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“පෙරේදා උදේ නැවත රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා. නැවත අපි රැඳවියන් සමග සාකච්ඡාවක් කර සමථයකට පත් වුණා. පොලිසියට භාර වුණු සහ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත උදේ වරුවේ ඉදිරිපත් කරනවා.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන මහත්වරුන්ගේ උපදෙස් මත වැලිකන්ද පොලිසියේ නිලධාරීන් හා යුද හමුදාව එක්ව කඳවුරෙන් පලා ගිය රැඳවියන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් ඉදිරියේදී සිදුකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා රඳවා සිටින වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 12 වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

දිගින් දිගටම වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඇතිවන ගැටුම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන ඇති අතර, අදාළ වාර්තාව දින දෙකක් තුළ ඇමැතිවරයා වෙත ලබා දීමට නියමිතය.

අදාළ වාර්තාව ද සලකා බලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනස් කිරීම කඩිනමින් සිදුකරන බවත්, යළිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ

ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා උපදෙස් ලබාදී ඇති බවත් අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website