සිකුරාදා, 19 ජනවාරි 2024 08:55

කොරෝනාට වඩා විසි ගුණයක් මාරාන්තික ‘එක්ස්’ – ලෝක නායකයෝ කතා කරති Featured

ඉදිරියේදී පැතිර යතැයි අපේක්ෂා කරන කොරෝනා වෛරසයට වඩා 20 ගුණයකින් පමණ මාරාන්තික ‘එක්ස්’ (X) යනුවෙන් නම් කර ඇති මාරාන්තික වසංගත රෝග කාරක විෂබීජය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ මෙම දිනවල පැවැත්වෙන

ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ලෝක නායකයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (17දා) පවත්වා තිබේ.

තවමත් සැබෑ ලෝකයේ මිනිසාගෙන් මිනිසාට මෙම රෝග කාරකය සම්ප්‍රේෂණය වීමක් සිදු නොවූවද ශ්වසන රෝග වෛරසයක් විය හැකි මෙම රෝගකාරකය දැනටමත් සතුන් අතර පැතිර ගොස් තිබිය හැකි බවත් ඉදිරියේ දී කිසියම් සත්ත්ව විශේෂයක් හරහා එම රෝගකාරකය මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් දක්වා එය වර්ධනය විය හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධ ජෝන් හොප්කින්ස් මධ්‍යස්ථානයේ වෛද්‍ය අමේෂ් අඩල්ජා පවසා තිබේ.

පර්යේෂකයන්, විද්‍යාඥයන් හා විශේෂඥයන් එකතු වී එවැනි සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වසංගත රෝගයක් පැතිර ගියහොත් එය මර්දනය කිරීම සඳහා ලොව පුරා සෞඛ්‍ය පද්ධතීන් සූදානම් කිරීමට සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන අතර එහි පියවරක් වශයෙන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන ලෝක නායකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානත්වයෙන් පෙරේදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. දැනටමත් සත්ත්වයන් අතර ඉතා ඉහළ මරණ අනුපාතයක් පවතින රෝග කාරකයන් සංසරණය වන බවත් එම රෝගකාරකයන් කුමන මොහොතක දී හෝ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන තත්ත්වයට පත් විය හැකි බවත් වෛද්‍ය අඩල්ජා සඳහන් කර සිටියි. ලෝක නායකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ජාවේදී එක් විශේෂඥයකු පවසා ඇත්තේ මෙම ‘එක්ස්’ නමැති මාරාන්තික රෝග කාරකය අපේක්ෂා කරන කාලයට පෙර මතු විය හැකි බවයි. 2022 වසරේදී විද්‍යාඥයන් 300 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවා තිබූ සමුළුවකදී වෛරස් හා බැක්ටීරියා පවුල් 25ක් ඇසුරෙන් ඉදිරියේදී ලොව පුරා මහත් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු රෝග කාරක සම්බන්ධයෙන් ලැයිස්තුවක් සකස් කළ අතර ඒ අතර මෙම ‘එක්ස්’ රෝග කාරකය ද තිබී ඇත. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ‘එක්ස්’ රෝගකාරකය හඳුනාගෙන ඇත්තේ 2018 වසරේ දී බව අනාවරණය වී තිබේ. දැනටමත් ඇතැම් මෙම එක්ස් රෝගකාරකය හරහා පැතිර යා හැකි එක්ස් රෝගය සඳහා එන්නත් නිපදවීමේ කාර්යය ද අරඹා තිබේ.

ඒමන්ති මාරඹේ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website