අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:43

වැඩබලන පොලිස්පතිට එරෙහිව කාදිනල්තුමන් ගොනු කළ පෙත්සම 31 දා සලකා බලයි Featured

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකර ඇති මූලිකඅයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22 දා) නියෝග කළේය.

එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි. එම කරුණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව දෙකක් විසින් ගොනුකර ඇති තවත් පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 31 වැනිදා කැඳවීමට අධිකරණය මේ වන විටත් දින නියම කර ඇති බැවින් මෙම පෙත්සමත් එදිනම කැඳවන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙරකී මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සමගම මෙම පෙත්සමත් එදිනට කැඳවන ලෙසට නියෝග කළේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා පෙනී සිටි අතර එකොළොස්වන වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. එම පෙත්සමට අදාළ නොතිසි තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී වන බැවින් ලබන 31 වැනිදා සලකා බැලීමේ දිනයක් ලෙස නොව කැඳවීමේ දිනයක් ලෙස කැඳවීමට දින නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකොන් මහතාට අමතරව නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව නම්කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website