අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:03

සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බළකාය ධීවරයින් සමග ලොරෙන්සෝ පුතා මුදාගනී – සෝමාලියානු කොල්ලකරුවෝ 3කුත් අත්අඩංගුවට Featured

ශ්‍රී ලංකා නාවික හමුදාව කියයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ “ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව සහ ධීවරයන් 06 දෙනා සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය විසින් මුදාගෙන ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම බහුදින යාත්‍රාව කොල්ලකනු ලැබූ මුහුදු කොල්ලකරුවන් තිදෙනකු ද ආයුධ සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසූ ඒ මහතා සීෂෙල්ස් නාවික හමුදාව විසින් මෙම පිරිස එරට වික්ටෝරියා වරාය වෙත රැගෙන ගොස් ඇතැයි ද කීවේය.

ලොරෙන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ඉකුත් 12 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල ගමන ලෙස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණි. තොඩුවැව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචි ධීවරයින් හය දෙනකු මෙම යාත්‍රාවේ ගමන් කර ඇත.

යාත්‍රාවේ නියමුවා වයස අවුරුදු 32 ක් වන අයෙකු වන අතර සෙසු පිරිස වයස අවුරුදු 23, 27, 33 සහ 44 යන වියේ පසු වෙති. ඔවුන් අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙක් ද සිටිති. මෙම පිරිස සමග යාත්‍රා කළ ලොරෙන්සෝ පුතා 04 ධීවර යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබුණේ ගොඩබිම සිට නාවික සැතපුම් 1,160 ක් පමණ දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදීය.

මෙම ධීවර යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වනවිට ධීවර යාත්‍රාවේ අයිතිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතාට අයත් තවත් ධීවර යාත්‍රා දෙකක් අරාබි මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් සිට ඇත.

ලොරෙන්සෝ පුතා 04 යාත්‍රාවේ සිටි ධීවරයින් රේඩියෝ උපාංග මගින් සෙසු ධීවර යාත්‍රාවකට තමන් මුහුණ පෑ සිද්ධිය දැනුම් දී තිබිණි. එම පණිවුඩය ලද ධීවර යාත්‍රාවේ ධීවරයින් මිල්රෝයි පෙරේරා මහතාට රේඩියෝ උපාංග මගින් සිද්ධිය දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

මෙම ධීවර යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ මොහොතේ සිට නාවික හමුදාව බහරේන් නාවික හමුදාව සහ ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක බළකාය සමග අඛණ්ඩ සබඳතා පවත්වාගෙන යමින් කටයුතු කළ බව සඳහන් කළ ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා නාවික විශේෂ යාත්‍රා බලගණයේ මෙහෙයුම් නැවක් අරාබි මුහුදු ප්‍රදේශයට යැවීමට ද සූදානමින් සිටි බව කීවේය.

සීෂෙල්ස් නාවික හමුදාව විසින් ශ්‍රී ලාංකික ධීවරයින් හයදෙනා ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදීමට නියමිත බවත් ඉන්පසු ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්, හේමන්ත රන්දුණු

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website