බදාදා, 31 ජනවාරි 2024 10:36

අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ නිදහස හිතළු පිළිගෙන නවත්වන්නට උසාවියට බැහැ -පොලිසිය ඉල්ලූ තහනම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් කියයි Featured

අධිකරණය සෑහීමට පත් වන පරිදි සුදුසු හා ප්‍රමාණවත් කරුණු හා සාක්ෂි ඉදිරිපත් නොකොට මෙලෙස සිදුවිය හැකි යැයි කියන මනඃකල්පිත සිතුවිලි (හිතළු) ඉදිරිපත් කළ පමණින් ඒවා පිළිගෙන රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකරදී ඇති රැස්වීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනය වන පරිදි නියෝග නිකුත් කළ නොහැකි බව

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30 දා) විවෘත අධිකරණය හමුවේ පැවසීය.

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන මෙන්ම අනෙකුත් සිවිල් සංවිධාන ද එක්ව ඊයේ (30 දා) පස්වරු 1.30ට සිය පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරය හා විරෝධතා පාගමන මගින් මහජන පීඩාවක් ඇති වියහැකි බව පෙන්වා දෙමින් එය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස පැවසීය.

යම්කිසි මහජන පීඩාවක් සිදුවන බව පෙන්වා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ පොලිසිය එවැනි ඉල්ලීමක් කරනවිට අධිකරණය සෑහීමට පත්විය හැකි පරිදි සුදුසු හා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත් මෙම අවස්ථාවේදී එවැනි කරුණු තහවුරු කිරීමක් සිදු කර නොමැති බැවින් එම ඉල්ලීම අනුව නියෝග නිකුත් කළ නොහැකි බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සිය නියෝගය නිකුත් කරමින් පොලිසියට පෙන්වා දුන්නේය.

මේ අතර කොම්පඤ්ඤ වීදිය පොලිසිය හා කොටුව පොලිසිය කළ ඉල්ලීම් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30 දා) පෙරවරු 9.00 ත් පස්වරු 2.00 ත් අතර කාලය තුළ දී සෙරමික් හන්දිය සිට ගාලු මුවදොර වටරවුම, ඩී. ආර්. විජේවර්ධන මාවත, ධර්මපාල මාවත, පිත්තල හන්දිය, බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත දක්වා වූ ප්‍රදේශවල මාර්ග අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපති මන්දිරයට ඇතුළු වීම වළකින ලෙසත් පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත් සමගි ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයන් ඇතුළු පිරිසකට ආඥාවක් නිකුත් කළේය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන පරිදි විශේෂයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව නිකුත් කළ එම ආඥාව උල්ලංඝනය කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තිය ප්‍රකාරව අදාළ නියෝගය අනුව ක්‍රියා කිරීමට පොලිසියට හැකියාවක් ඇති බව ද සිය ආඥාව මගින් පෙන්වාදී තිබූ මහෙස්ත්‍රාත්වරයා එම ආඥාව කඩකිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පෙන්වාදී තිබිණි. මේ අතර කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම මහජන පීඩාවක් වන පරිදි මාර්ග අවහිර කිරීම වළක්වමින් එම පෙළ පාලිකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (30 දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website