බ්‍රහස්පතින්දා, 01 පෙබරවාරි 2024 11:53

දේශබන්දුට එරෙහි මුජිබර්ගේ පෙත්සම යළි කැඳවීම 7 දා Featured

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලෙස හා ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 7 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31දා) නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත්කර ඇත්තේ මාස තුනක කාලසීමාවකට යටත්ව බවත්, ලබන පෙබරවාරි 27 වන දිනට එම මාස තුනක කාලසීමාව අවසන් වන බවත් කියමින් නඩුව ඊට පෙර කැඳවන ලෙසට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සළකා බැලූ ප්‍රියන්ත ජයවර්ධන, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් හා වැඩබලන පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා ඇතුළු පාර්ශ්ව හතරක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මස 27 වැනිදා සලකා බැලීම සඳහා කැඳවීමට එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (31දා) නියෝග කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා හා ප්‍රතිවිරෝධතා ලබන මස 22 වන දිනට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසටද විනිසුරු මඬුල්ල සියලු පාර්ශවවලට නියෝග කළේය.

කාදිනල්තුමා ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website