- සැබෑ නිදහස් ජනරජයක ආර්ථික ස්වෛරීභාවය දිනාගැනීමට සියලු දෙනා කැපවෙමු.
"අපිට නිදහස ලැබිලා දැන් වසර 76 ක් ගෙවී ගිහින් තියෙන බව තමයි ඉලක්කම් වලින් නම් පෙනී යන්නේ. අපි විශේෂයෙන්ම සමරන්නේ 1948 පෙබරවාරි 04 වෙනිදා අපට ලැබුණු ඩොමීනියන් නිදහස. ඉන්දියාව තමන්ට ඩොමීනියන් නිදහසක් ලැබිච්ච අගෝස්තු මාසේ 16 සමරන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ 1950 ජනරජයක් වෙච්ච දවස තමයි විශේෂයෙන්ම සමරන්නේ. අපි ජනරජයක් වුණේ 1972 මැයි මාසේ 22 දා. ඒ නව ව්‍යවස්ථාවක් මගින් බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදිලා, රටේ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් තෝරා පත් කරගන්න පාර්ලිමේන්තුවකට ජනාධිපති කෙනෙකුට, රාජ්‍ය නායකයෙකුට යටත් ආණ්ඩුවක් බවට පත්වීමෙන්." යනුවෙන් තලපත්පිටිය සමාජ සේවා ආයතනයේ නිදහස් දින සැමරුම සඳහා එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා "අද අපිට එහෙම නිදහස සමරන්න, පෙළපාලි යන්න ජය කොඩි නංවන්න පුළුවන් තත්වෙකද අපි ඉන්නේ?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;
"2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළාට පස්සේ මේ රටේ ඒ ස්වෛරී ණය අයිතිය අපේ ණය හිමියන් අතට ගියා. ඒ ණය හිමියෝයි අපියි අතර අද බේරුම්කාරයා බවට පත්වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ ණය හිමියෝ අපිට නඩු පවරලා තියෙනවා විදේශ රටවල අධිකරණ වලට. දැන් අපිට ඇහිලා තියෙනවා සමහර නොදැනුවත්කම නිසා හරි ජනතාව තව වටයකින් අන්දවන්න හරි කියනවා. අපි ආහම ණය ගෙවන්නෑ කියලා. එහෙම කිව්වහම ඒ අදාළ ණය හිමියොත් ඒකට එකඟ වෙයි කියලා. ඒක සම්පූර්ණ මේ රට නොමඟ යැවීමක්. මේක තව වතාවක් මාධ්‍ය හරහා අපේ ජනතාව ඇන්දවීමක්. බැරිවෙලාවත් ඒ නඩුව ඇහුවොත් නඩු තීන්දුවක් අපට දුන්නොත් ලංකාව වහාම මේ ණය ගෙවිය යුතුයි කියලා. අපට එවැනි ණය ගෙවීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම එතකොට වෙන්නේ මොකක්ද? ලෝක බැංකු පද්ධතිය මගින් අපේ රටේ ගනුදෙනු නතර වෙනවා. ඒ අනුව අපිට අර උතුරු කොරියාවට වෙලා තියෙනවා වගේ කිසිම රටක් එක්ක ගනුදෙනු කරන්න බැරි තත්වයකට මේ රට ඇද වැටෙනවා. ඒ නිසා අපි මතක තබා ගත යුතුයි තෙල් පෝලිම් නෑ විසි හතර පැයම තියෙනවා කියලා අපි උදම් ඇනුවට අපි තාමත් අතුරේ යන ජාතියක්. ඒ නිසාවෙන් මේ රට සමාජය ගිලී තිබෙන ආර්ථික, දේශපාලන සහ සමාජමය පිරිහීමෙන් මුදාගැනීමට ඉදිරි පියවරක් ගත යුතුයි. ආර්ථික ස්වෛරීභාවය දිනාගැනීම සඳහා විශේෂයෙන්ම ව්‍යාපාරික සහ කර්මාන්ත හිමියන්ගෙන් සුවිශාල ආර්ථික දේශප්‍රේමීත්වයක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රායෝගික, මහපොළොවේ ක්‍රියාත්මක වන, අහස් මාලිගා නොවෙන වැඩසටහනක්, වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. එම වැඩසටහන, වැඩපිළිවෙළ වෙනුවෙන් එක් ජනරජයක් වෙනුවෙන් එක් පියවරක් තබන්නට සමාන අදහස් දරන දේශමාමක සියළුදෙනා එක්වියයුතුයි."
එමෙන්ම මේ වනවිට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ආණ්ඩුව විසින් සිදුකරන ආර්ථික පරිහානිය හා එය මේ වනතෙක් සිදුකරනු ලැබූ සැබෑ මහබැංකු කොල්ලය බවට පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරන ලදී.
"දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. හුඟක් දෙනෙක් නොදන්න ඇත්ත තමයි මේ දේශීය ණය හරහා කළේ මොකක්ද? මේ රටේ ඒ ණය බර රටේ ජනතාව මත පටවපු එක. අපි කවුරුත් මේ රටේ වැඩකරන ජනතාවට අයිති සේවක අර්ථසාධක අරමුදලට ගෙවපු පොලිය සීමා කළා. ඒ සීමා කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල හරහා මේ රටේ වැඩකරන ජනතාවට ලැබිච්ච වරදානය අඩුවුණා. හැබැයි හැමෝම කතා නොකරන දෙයක් තියෙනවා. ඒ මොකක්ද? මහ බැංකුව සතුව තිබිච්ච 25% - 26% පොලියට ආණ්ඩුව ලබාගත්ත භාණ්ඩාගාර බිල්පත්. ඒවා තමයි අර සල්ලි අච්චු ගහනවයි කියලා අපි කිව්වේ. ඒවායේ පොලිය 5% - 6% ට ආණ්ඩුව අඩු කරලා තියෙනවා. මහා භාණ්ඩාගාරය විසින් කරපු මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට අද ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රශ්නයක් මතු වුණොත්, බැංකු පද්ධතියේ ප්‍රශ්නයක් මතු උනොත්, අතේ සල්ලි නෑ ගෙවන්න. ඉතින් මොකද වෙන්නේ? අපි දන්නවා සෙලාන් බැංකුව, EAP ව්‍යාපාරය, සෙලින්කෝ ව්‍යාපාරය වැටුණා. මහ බැංකුව මැදිහත් වෙලා බේරගත්තා. ඇයි ඒක මහ බැංකුවට කරන්න පුළුවන් වුණේ? මහ බැංකුව සතුව දැවැන්ත ධනයක්, ප්‍රාග්ධන ශක්තියක් තිබිච්ච නිසා. හැබැයි අද එවැනි තත්වයක් නෑ. ඒක තමයි වැදගත් ඇයි රජය විසින් මේ ණය ප්‍රතිව්යුහගතකරණය මුවාවෙන් මහ බැංකුව හින්දවලා තියෙන්නේ. නියම මහ බැංකු කොල්ලය කරලා තියෙන්නේ එතන. මේක මේ රටේ හුඟක් දෙනෙක් කතා කරන්නේ නැහැ රටේ කම්කරු පන්තිය ගැන කතා කරාට. රටේ ලක්ෂ 220ක් ජනතාව සතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ හැකියාව බින්දුවට බස්සලා තියෙන්නේ. එතකොට යම් හෙයකින් යම් බැංකුවක්, මූල්‍ය ආයතනයක්, ලීසිං සමාගමක් අර්බුදයට ගියා. මොකද වෙන්නේ? භාණ්ඩාගාර සිද්ධ වෙනවා ඒ බර දරන්න. මහ බැංකුව දැන් ස්වාධීනයි. සල්ලි අච්චු ගහන්න බෑ. ඒ නිසා ඒ එක දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරය කොහොමද දෙන්නේ? භාණ්ඩාගාරය ආයි දෙන්නේ පෙට්‍රල් වලින්. ඩීසල් වලින්, සීනි වලින්, කිරිපිටි වලින් තව බදු ටිකක් ගහලා තමයි ඒක දෙන්නේ. අන්න ඒක තමයි මේ දේශීය ණය ප්‍රශස්ථකරණයේ ඇත්ත කතාව. ඔහොම නැතුව කරන්න තිබුණද? ඔව් තිබුණා. 37% -40% පොලී අනුපාත ලබාගත් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරපු බැංකුකරුවන්ට, ධනකුවේරයින්ට එක්කෙනෙකුටවත් අත තිබ්බේ නෑ. අත තිබ්බේ අර ලක්ෂ දෙසිය විස්සක් වෙච්ච හැම බරම කන විදුලි බිලේ,තෙල් බිලේ බර, ඒ වගේම බදු බර කන ජනතාවට. ඒ නිසා මේ ණය භයානකකම මතක තබා ගත යුතුයි. මේකෙන් අපි චූන් විය යුතු නෑ. රට දැන් මාර ස්ථාවරයි. දැන් හරි ෂෝක් කියලා. අතුරේ යන ගමනක් තමයි ශ්‍රී ලංකාව නැවත යන්නේ. ඒ නිසා අරයව අපි හෙට උදේ හිරේට ගන්නවා. බලයට ආහම මෙයාගේ දේපල ජනසතු කරනවා. පිටරට තියෙන මේගොල්ලන්ගේ දේපල අපි ගේනවා කියලා ජනතාව චූන් කරලා හරියන්නේ නැහැ. දැන් ජනතාවට අවශ්‍යයි විධිමත් වැඩපිළිවෙළක්. මේ රට මෙතනින් ඔබ්බට ගෙනියන්න. අන්න ඒ ඇත්ත මේ රටේ ජනතාවට කියන්න. කොහොමද අපි ණය ප්‍රතිව්යුහගතකරණය කරන්නේ?, කොහොමද ආණ්ඩුවේ ආදායම වැඩි කරන්නේ? කොහොමද බදු බර අඩු කරන්නේ? බඩු මිල අඩු කරන්නේ, විදුලි බිල අඩු කරන්නේ. ඒ වගේම තෙල් මිල අඩු කරන්න කියන එක ගැන අපට විධිමත් ප්‍රයෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි."


