අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:36

කන්දකාඩු මොකද වෙන්නේ – රැඳවියෝ 34ක් අත්අඩංගුවට Featured

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාවිත් බස් රථයක් පැහැර ගැනීමට තැත් කළ රැඳවියන් 20 ක් සහ පුනරුත්ථාපන කඳවුරේ යුද හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකරගත් රැඳවියන් 14 ක් වැලිකන්ද සහ පුලතිසිගම පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සෝමාවතිය වැඳ පුදාගෙන බැංකු නිවාඩු නිකේතනයක රැඳී සිටි පිරිසක් සමග ආරවුලක් ඇතිකරගෙන බස් රථය පැහැර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ වීම නිසා එම පිරිස කඳවුරට පැමිණ සිටියදී පුලතිසිගම පොලිසිය මගින් පෙරේදා (4 දා) රැඳවියන් 20 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නැවත 4 වැනිදා සවස 6.00 ට පමණ රැඳවියන් හා යුද හමුදාව අතර ගැටුමක් ඇතිවී තිබෙන අතර එහිදී සෙබළකු සහ රැඳවියන් 10 දෙනකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් 14 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන චානක ද සිල්වා සහ ප්‍රගති අබේසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පුලතිසිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. ඒ. ඒ. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ කර ඇත. මේ සඳහා වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ කඳවුර තුළ කලහකාරී සිද්ධි නිතර ඇති කළ බවට චෝදනා එල්ලවූ 34 දෙනකු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදීමට කටයුතු කළ බවයි. මේ පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ පිරිසක් සිටින බව ද ඔහු පැවසීය.

චමින්ද සිල්වා, ඇලහැර-නිශ්ශංක වෙලගෙදර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website